ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අග විනිසුරු ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර නැහැ'

අග විනිසුරු මොහාන් පීරිස් සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් ඉදිරිපත් වූ නීතිවේදී විජයරත්න කොඩිප්පිලි පවසයි.

අද, බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් නීතිවේදී කොඩිප්පිලි කියා සිටියේ මොහාන් පිරිස් සිය අග විනිසුරු තනතුරෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇති බවට ඊයේ සහ අද දින සමහර මාධ්‍යය අසත්‍ය වාර්තා පළ කර ඇති බවයි.

“අග විනිසුරුවරයා ඉල්ලා ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇති බවට පලවී ඇති වාර්තා අසත්‍යක්. එවැනි වාර්තා පළ කිරීමෙන් වළකින ලෙස අග විනිසුරුවරයා වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා. එමෙන්ම අදාළ වාර්තා නිවැරදි කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා.” නීතිවේදී විජයරත්න කොඩිප්පිලි පැවසීය.

අග විනිසුරු මොහාන් පීරිස් ඉල්ලා අස්වීමට අග්‍රාමාත්‍යවරයා හමුවේ කැමැත්ත පළ කර ඇති බවට ඊයේ, බදාදා රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍යට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ නීතිවේදී විජයරත්න කොඩිප්පිලි ඊට පිළිතුරු දීමෙන් වැලකී තිබේ.

මේ අතර අද, බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවක දී අග විනිසුරුවරයා ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර නොමැති බවට ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ අගවිනිසුරුට මාධ්‍ය ප්‍රකාශකයෙක් සිටින බව තමන් නොදන්නා බවයි.

තව දුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කිරීම අසත්‍ය තොරතුරක් නම් ඒ බව මාධ්‍යයට පැවසීමට අගවිනිසුරු වරයාට නොහැක්කේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවයි.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන් නැගූ විවිධ ප්‍රශ්න වලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අගවිනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී විජයරත්න කොඩිප්පිලි කියා සිටියේ අගවිනිසුරුවරයා ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර නොමැති බව පමණක් තමන්ට ප්‍රකාශ කල හැකි බවයි.