ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ඡන්දෙන් කවුරු දිනුවත් අගමැති රනිල්මයි'

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ජය පරාජය කාට හිමි වුවත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වෙනස් නොවන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෙත්සිරිපායේදී නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගනිමින්.

තම මාසික වැටුප සහ ඉන්ධන දීමනා නිවාස සංවර්ධන අරමුදලට මාසිකව බැර කරන බවත් තමාට අමාත්‍යාංශයෙන් ලැබෙන නිල වාහන හෝ නිල නිවස බාර නොගන්නා බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙහිදී ප්‍රකාශ කළේය.

එක් මැතිවරණ කොට්ඨාශයකට නිවාස තුන්සීය බැගින් මැතිවරණ කොට්ඨාශ 160 ක නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ දින සියයේ වැඩසටහන සිය රජයේ සංවර්ධන ගමනේ මූලාරම්භය පමණක් වන බවයි.

වසර දෙකක කාලයක් තුල එම සංවර්ධන වැඩ පිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසන්නේ.

නිවාස සහ සමෘද්ධි අමාත්‍යවරයා ලෙස අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග ඔහුගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස සහ මාදුළුවාවේ සෝභිත හිමියන්ද සහභාගී වී සිටියහ.