ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බෙදීම් රේඛාවලින් නිදහස් වුනා - රතන හිමි

රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට නම් ජාති, ආගම් දේශපාලන පක්ෂවලට සීමා නොවී විවෘත මනසින් සිතා බලා ඒ සඳහා අවශ්‍ය තීරණ ගත යුතු බව අතුරුලියේ රතන හිමියෝ පවසති.

‘අපි බෙදීම් රේඛාවල් හදා ගත්ත සීමා වලින් නිදහස් වුනා කියලා මට හිතෙනවා. අපි උතුරු නැගෙනහිර බෙදුවා. ටීඑන්ඒ කිව්වොත් කතා කරන්න බැහැ. ත්‍රස්තවාදීන් කිව්වා. ජාතික හෙළ උරුමය කිව්වොත් තව සීමාවකට දැම්මා. වාමාන්ශිකයෝ කියලා තව සීමාවකට දැම්මා’ අතුරුලියේ රතන හිමි කියා සිටියහ.

නමුත් එම සීමා සියල්ල බිඳ දමා වෙනසක අවශ්‍යතාව පිළිබඳ සිතීමේ යුගයක් ආරම්භ වී ඇති බව උන්වහන්සේ සඳහන් කළේ තරුණ ගැට‍ළු සහ තාරුණ්‍යය වෙත අවධානය යොමු කිරීමේ අටියෙන් චේන්ජ් (CHANGE) නම් සංවිධානය පිහිටුවා ගැනීමේ අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශාලාවේ පැවති තරුණ සමුළුව අමතමින්.

ආගම්වාදී ප්‍රවණතාවලට යළි මතු වීමට ඉඩ නොදී ඉදිරියේ ඇති අභියෝග හමුවේ සියලු දෙනා එක්ව රටක් ලෙස මුහුණ දිය යුතු බවයි ජාතික හෙළ උරුමයේ අතුරුලියේ රතන හිමි වැඩිදුරටත් කියා සිටියේ.

ලාංකීය අභිමානය

මේ අතර කලකට පසු රටේ තරුණයන් වෙනසක් කරා පෙළ ගැසී ඇති බව සමුළුවට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේය.

‘සිංහලයාගේ අභිමානය ගොඩ නගනවා වගේම ද්‍රවිඩයගේ අභිමානය, මුස්ලිම්වරයගේ අභිමානය. මේ සියලු අභිමාන එක්කාසු කළ විට තමයි ශ්‍රී ලාංකීය අභිමානය කියන දේ අපට ලැබෙන්නේ’ සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම අවස්ථාවට එක් වී සිටි නියෝජ්‍ය අධිකරණ අමාත්‍ය සුජීව සේනසිංහ කියා සිටියේ වෙනසක් කරා යන ගමනේදී ප්‍රථමයෙන් කළ යුත්තේ නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපනය කොට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම බවයි.