කුමන්ත්‍රණ චෝදනා: අගවිනිසුරු රැඳී සිටීම 'බාධාවක්'

Image copyright AFP
Image caption අගවිනිසුරුට එරෙහිව කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක්

කුමන්ත්‍රණ චෝදනාවකට මුහුණ දී සිටින අග්‍ර විනිශ්චයකාර මොහාන් පිරිස් දිගම එම තනතුරේ රැඳී සිටීම තුළින් ඊට අදාළ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට බාධා එල්ල නව බව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ එකමුතුව පවසයි.

එම සංගමයේ කැඳවුම්කරු නීතිවේදී ලාල් විජේනායක පවසන්නේ අග්‍ර විනිශ්චයකාරවරයාට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙන අවස්ථාවක ඔහු එම තනතුරේ රැඳී සිටීම තුළින් පරීක්ෂණ වලට බලපෑම් සිදු කිරීමට හැකියාව පවතින බැවින් ඔහු එම තනතුරෙන් තාවකාලිකව හෝ ඉවත් වීමට කටයුතු කළ යුතු බවයි.

“රජයේ සුළු සේවකයෙකුට පවා දූෂණ චෝදනාවක් එල්ල වූ විගස ඔහු වැඩ තහනමට ලක් කර තමා පරීක්ෂණය සිදු කරන්නේ. අග්‍ර විනිශ්චයකාරවරයා යනු ඉහල තනතුරක් දරන පුද්ගලයෙක්. ඔහු තනතුරේ දිගටම රැඳී සිටියොත් පරීක්ෂණවලට බාධා වන්න පුළුවන්. ඒ නිසා අඩුම වශයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු හෝ ඔහු සිය තනතුරෙන් ඉවත් විය යුතුයි.” නීතිවේදි ලාල් විජේනායක ප්‍රකාශ කළේය.

නීතියේ හිඩැසක්

වත්මන් ව්‍යවස්ථාවට අනුව උපරිමාධිකරණ විනිසුරුවරයෙකු ඉවත් කිරීමට හැක්කේ දෝෂාභියෝගයක් හරහා පමණයි.

මෙය සංකීර්ණ ක්‍රියාදාමයක් නිසා දූෂණ චෝදනා වලට මුහුණ දෙන විනිසුරුවරුන් නොපමාව ඉවත් කළ හැකි විනිවිද භාවයකින් යුත් ක්‍රමවේදයක් සැකසීම අවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

“මේක හරිම සංකීර්ණ කල් ගත වන ක්‍රියාදාමයක්. උදාහරණයක් ලෙස මිනීමැරුම් චෝදනාවක් එල්ල වන විනිසුරුවරයෙකු පවා මේ යටතේ කඩිනමින් ඉවත් කරන්න බැහැ. මේක නීතියේ පවතින හිඩැසක් ලෙසයි මා දකින්නේ.” ඔහු පවසයි.

මෙම චෝදනාව පිළිබඳව අග්‍ර විනිශ්චයකාරවරයාගේ මාධ්‍ය ප්‍රකාශක විජයරත්න කොඩිප්පිලිගෙන් සහ අගවිනිසුරු මොහාන් පීරිස්ගේ මතය විමසීමට උත්සාහ කළද එම උත්සාහය සාර්ථක වුයේ නැත.