ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේශපාලන පත්වීම් ලැබූ 'සියලු දෙනා කැඳවනවා'

මහින්ද රාජපක්ෂ පරිපාලනය විසින් ලොව පුරා පිහිටි තානාපති කාර්යාලවලට දේශපාලන පත්වීම් ලබා දුන් හමුදා නිලධාරීන් ඇතුළු සියලු දෙනා ආපසු කැඳවන බව නව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

එහි මුල් පියවරක් වශයෙන් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 29 දෙනකු දැනටමත් ආපසු කැඳවා තිබෙන බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා බීබීසී සංදේශයට පැවසීය.

ඔවුන් කවුරුන්දැයි නම් වශයෙන් නම වශයෙන් හෙළි කිරීම යෝග්‍ය නොවන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ඥාතීන්, මිත්‍රයන් සහ පරාජිත දේශපාලනඥයන් ඇතුළු පෞද්ගලික පදනම මත පත් කරන ලද පිරිසක් ඒ අතර සිටින බව කියා සිටියේය.

වොෂින්ටන් තානාපති කාර්යාලය

තානාපති කාර්යාලවලට පත්වීම් ලබාදුන් හමුදා නිලධාරීන් සහ අනෙකුත් පහල මට්ටමේ නිලධාරීන් ද එක්වරම ආපසු කැඳවිය යුතු බවට මුලින් අවධානය පළ වූ නමුත්, එසේ වූයේ නම් ඇතැම් තානාපති කාර්යාලවල කටයුතු සම්පූර්ණයෙන්ම අදාළ වීමට ඉඩ තිබෙන බැවින් ක්‍රමානුකූලව ඔවුන් ඉවත් කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පවසයි.

වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ තානාපතිවරයා හැරුණු විට අන් සියලු නිලධාරීන් දේශපාලන පත්වීම් ලැබූවන් බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව බීබීසී යේ සරෝජ් පතිරණ කළ විමසීමක දී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳව තමන් නිසි අධ්‍යයනයක් කොට නැති බවයි.

"මම දන්නවා වොෂින්ටන් හි අති විශාල ප්‍රමාණයක් දේශපාලන පත්වීම් ලබපු අය ඉන්නවා කියල. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ. ඒ විදියට අපි හඳුනාගෙන තියෙනව තැන් ගණනාවක්," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් තානාපති සේවයට දේශපාලන පත්වීම් කිසිවක් නොකළ යුතු යයි සිය ආණ්ඩුව අදහස් නොකරන බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේය.

විදේශ සේවයෙන් පරිබාහිර විශේෂඥයන්ට සහ විද්වතුන්ට තානාපති සේවයේ 30% ක තනතුරු පිරිනැමීම මෛත්‍රීපාල සිරිසේන පරිපාලනයේ ප්‍රතිපත්තිය බවයි, ඔහු පවසන්නේ.