ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක විශ්‍රාම ගනී

අද බදාදා, යළි තම සේවයේ වැඩ බාර ගත් අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක හෙට, බ්‍රහස්පතින්දා දිනයේ සේවයෙන් විශ්‍රාම ගන්නා බවට තමන්ට දැනුම් දුන් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මේ බව පැවසුවේ ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය නැවත පත්වීමේ නීතිමය පදනම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින්.

දෝෂාභියෝගය

අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක 2013 වසරේ දී දෝෂාභියෝගයක් මගින් ඉවත් කළ ආකාරය නිත්‍යානුකුල නොවන බව පවසමින් ඇයට යළි සේවයට පැමිණෙන්නැයි ජනාධිපතිවරයා කළ ඉල්ලීම අනුව ඇය නැවත සේවයට පැමිණි බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය පැවසුවේ.

අගවිනිසුරු ධුරය දරමින් සිටි මොහාන් පිරිස් නිත්‍යානුකුල පත්වීමක් නොවන බව තම සංගමය මුල සිට දරු ස්ථාවරය බවයි ඔහු කොළඹ නීතිඥ සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

මේ වන විට අගවිනිසුරු ධුරය හොබවන්නේ ශිරාණි බණ්ඩාරනායක බව පැවසූ නීතිඥ උපුල් ජයසුරිය හෙට, බ්‍රහස්පතින්දා ඇය තම ධුරයෙන් විශ්‍රාම ගැනීමට සුදානම් වන බවද අනාවරණය කළේය.

මෙතෙක් අගවිනිසුරු ධුරය දැරූ මොහාන් පිරිස්ගේ පත්වීම නීත්‍යනුකුල නොවන එකක් බවයි නීතිඥ උපුල් ජයසුරිය පෙන්වා දෙන්නේ.

තීන්දුවල වලංගුතාව

මොහාන් පීරිස් අග්‍රවිනිශ්චයකාර තනතුර දරමින් ලබා දුන් තීන්දුවල වලංගුතාව තිබේදැයි මාධ්‍යවේදියෙකු කල විමසුමකට පිළිතුරු දුන් නීතිඥ උපුල් ජයසූරිය පැවසුවේ එම නඩු විභාග සඳහා අගවිනිසුරුවරයා ඇතළු තවත් විනිසුරුවන් තිදෙ‍නෙකු සිටි නිසා එම තීන්දු අවලංගු නොවන බවයි.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 119 වන වගන්තිය අනුව මෙවැනි අවස්ථාවක අදාල තීන්දු අවලංගු නොවන බව පවසා තිබෙනවා"

අගවිනිසුරු ලෙස කටයුතු කළ මොහාන් පිරිස් එම තනතුරේ නිත්‍යානුකුලව කටයුතු නොකලා නම් පසුගිය සතිය පුරාවට නිත්‍යානුකුල ධුරයක් නොදරන ඔහුගෙන් ඉල්ලා අස්වන ලෙස නීතිඥ සංගමය ඉල්ලා සිටියේ ඇයි දැයි සංදේශය විමසු අතර එයට පිළිතරු දෙමින් නීතිඥ උපුල් ජයසූරිය පැවසුවේ කිසියම්වූ හේතුවක් නිසා ඔහු එම ධුරය දරමින් සිටි නිසා ඔහුට ගෞරවාන්විත ලෙස සමුගැනීමට එලෙස ඉල්ලා අස් වෙන ලෙස ඉල්ලා සිටි බවයි.

අගවිනිසුරු ධුරය දැරූ මොහාන් පිරිස් එම තනතුර දැරුවේ නිත්‍යානුකුලව නොවේ නම් ඔහු ඉදිරියේ නඩුවලට පෙනී සිටීමට නීතිඥයන් ඉදිරිපත්වුයේ ඇයි දැයි විමසු විට නීතිඥ උපුල් ජයසුරිය පැවසුවේ තම සේවාදායකයන්ගේ කටයුතු ප්‍රායෝගික වශයෙන් පවත්වා ගැනීම වෙනුවෙන් නඩු වලට පෙනී සිටි බවයි.