අත්‍යවශ්‍ය භාණ්ඩ දහ තුනක මිල අඩු වෙයි

Image copyright EPA

රාජ්‍ය සේවකයන්ගේ වැටුප ලබන මාසයේ සිට රුපියල් 5000කින් වැඩි කරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා අද (29) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ ඉතිරි රුපියල් පන්දහස ලබන ජුනි මාසයේ පටන් වැඩි වන බව ද 2015 නව අතුරු අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා කියා සිටියේය.

මෙම අතුරු අය වැය තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ දහ තුනක මිල අඩු කර තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ

ඒ අනුව සීනි කිලෝවක මිල රුපියල් 10කින්ද කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 61කින් ද (රෝගීන් සඳහා ලබා දෙන සස්ටජන් කිරිපිටි මිල රුපියල් 100කින්ද) තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 12.50කින්ද පාන් ගෙඩියක මිල රුපියල් 6කින්ද අඩු කෙරෙන බව නිවේදනය කළේය.

එසේම කහ කිලෝවක් රුපියල් 100 කින්ද උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් හා උඳු කිලෝවක් රුපියල් 60 කින් පහල දැමීමටද යෝජනා කර තිබේ.

මීට අමතරව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1896 සිට 1595 දක්වා රුපියල් 300කින් අද මැදියම් රැයේ සිට අඩු වෙයි.

Image copyright EPA

සිමෙන්ති, බස් ගාස්තු, භූමිතෙල් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක ද මිල අඩු කිරීමට යෝජනා විය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් වාණිජ බැංකුවල පවත්වා ගෙන යන රුපියල් මිලියනයක් වන ස්ථාවර තැන්පතු වලට සියයට 15ක ඉහළ පොලියක් ලබා දීමටත් විශ්‍රාමික රජයේ සේවකයින්ට 2015 අප්‍රේල් මස සිට ඔවුන්ගේ විශ්‍රාම වැටුපට රුපියල් 1000ක් එකතු කිරීමටත් මෙවර අයවැය තුලින් පියවර ගෙන ඇත. විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 1000දක්වා අඩු කර ඇති අතර ගර්භනි මවුවරුන් සඳහා රුපියල් 20,000ක දීමනාවක් ලබා දීමට යෝජනා කෙරිණ.

නව බදු

මෙවර අයවැයෙන් සලසා ඇති සහන සඳහා යන වියදමෙන් කොටසක් සොයා ගැනීමට මුදල් ඇමතිවරයා ගෙන ආ යෝජනාවලින් කිහිපයක් මෙසේය.

Image copyright EPA

කැසිනෝ ශාලා හිමියන්ගෙන් (එක් වරක් පමණක් ගෙවිය යුතු) රුපියල් කෝටි 100ක විශේෂ බද්දක් අය කර ගැනීමට යෝජනා විය.

එමෙන්ම සැටලයිට් රූපවාහිනී හිමිකරුවන් සඳහා කෝටි 100ක බද්දක් හා ක්‍රීඩා සඳහා පමණක් වෙන් වූ නාලිකා වලින් රුපියල් කෝටි 100ක බද්දක් ද අය කිරීමට තීරණය කර ඇත.

දිවයින පුරා පවතින තැබෑරුම් 4321කින් (එක් වරක් පමණක් ගෙවිය යුතු) රුපියල් දෙලක්ෂ පන්දාහක් අය කිරීමට තීරණය කර ඇත. කලින් පැවැති රජයේ 72ක් වූ කැබිනට් ඇමැති මණ්ඩලය මෙම රජය 32 දක්වා අඩු කිරීමෙන් රුපියල් මිලියන 2500ක් ඉතිරි වන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.

ජනාධිපති වියදම

ජනාධිපති කාර්යාල වියදම කෝටි 9000 කින් කපා හරින බවද හෙතෙම පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි 9500 ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇස්තමේන්තු ගත කර තිබුණ ද, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියමයෙන් එම මුදල රුපියල් කෝටි 256 දක්වා අඩු කර ඇතැයි මුදල් ඇමැතිවරයා කියයි.