ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපති වියදම කෝටි 9000 කින් බසී

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම දින 100 වැඩපිළිවෙළ මගින් ඉදිරිපත් කල ජනතා සහන පොරොන්දුවූ ආකාරයටම අතුරු අය වැය මගින් ජනතාවට ලබා දුන් බව රජයේ නියෝජිතයෝ පවසති.

විපක්ෂයේ නියෝජිතයන් චෝදනා කරන්නේ මෙම අතුරු අයවැය දිගු කාලීන අරමුණකින් තොරව දින 100 සඳහා පමණක් ඉදිරිපත් කළ අය වැයක් බවයි.

ජනාධිපති වැය ශීර්ෂය

2015 වසර සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වෙන් කර තිබූ රුපියල් කෝටි 9593 මුදල නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතේ රුපියල් රුපියල් කෝටි 256 දක්වා අඩු වීම නිසා ජනතාවට වඩ වඩාත් සහන ලබා දීමට හැකිවූ බව අමාත්‍ය පි හැරිසන් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අඩුවූ බව පැවසුවත් අගමැතිවරයාගේ වැය ශීර්ෂය සඳහා වෙන් කර ඇති මුදල වැඩිවී ඇති බවයි විපක්ෂයේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසන්නේ.

“ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කපපු එක හොඳයි. නමුත් ඒවා එකතු කරලා තියෙන්නේ අගමැතිතුමාට නම්, අගමැති රනිල් වික්‍රමසිංහ යන්න හදන්නේ විධායක ජනාධිපති බලතල ලබාගෙන විධායක අගමැති හැටියට ‘වන් මෑන් සෝ’ එකක් ද කියල ප්‍රශ්න කරන්න වෙනවා,” හිටපු ඇමතිවරයා පැවසුවේය.

පාර්ලිමේන්තුව උත්තරීතරයි

ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගේ චෝදනාවට පිළිතුරු දෙන අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ ජනාධිපතිවරයාගේ වියදමෙන් කොටසක් අග්‍රාමාත්‍යවරයාට යටතට පැමිණීම පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළේ කොටසක් බවයි.

“අද ජනාධිපතිවරයාටවත්, අගමැතිවරයාටවත් නෙමෙයි බලතල තියෙන්නේ, පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව තමයි උත්තරීතර,” ඇමතිවරයා පැවසුවේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණයට නාස්තියට වැය වීමට තිබූ මුදල නතර කර ගැනීම මෙම ජනතා සහන ලබා දීමට ප්‍රමාණවත්වූ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.