ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දින 746 ක් උදුරා ගත්තා -ශිරානි බණ්ඩාරනායක

දෝෂාභියෝගයකට ලක් වීමෙන් පසුව නැවතත් සිය ධුරයේ වැඩ භාර ගත් අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක අද (29) තම තනතුරින් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කළාය.

සමු දීම සඳහා උපරිමාධිකරණ සංකීර්ණයේ පැවති චාරිත්‍රානුකූල නිල උත්සවයට සහභාගී වෙමිනුයි ඇය මේ බව නිවේදනය කර සිටියේ.

සිය විශ්‍රාම යාමෙන් හිස් වන 44වැනි අග්‍ර විනිශ්චයකාර තනතුර දැරීම සඳහා දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ.ශ්‍රීපවන් වඩාත් සුදුසු බවද ඇය කියා සිටියාය.

හිරිහැර

දහසය අවරුදු සේවා කාලය තුළ නීතියේ ආධිපත්‍ය සුරැකීමට තමා දැඩි කැපවීමක් සිදු කල බව ප්‍රකාශ කල අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක අදාළ කාල සීමාව තුල නඩු තීන්දු 320 ක් පමණ ප්‍රකාශ කර තිබු බවයි කියා සිටියේ.

එහෙත් පදනම් විරහිතව ඉදිරිපත් වූ දෝෂාභියෝගයක් නිසා සිය සේවා කාලයෙන් දින 746 ක් උදුරා ගැනුණු බව චෝදනා කල අග්‍ර විනිශ්චයකාරවරිය එහිදී තමාට මෙන්ම පවුලේ උදවියට හිරිහැරවලට මුහුණ පෑමට සිදු වූ බවයි කියා සිටියේ.

'මම එකඟ නැහැ.’

අගවිනිසුරුවරුන් ඉවත් කිරීම සහ පත් කිරීම සම්බන්ධයෙන් මෑතකදී දක්නට ලැබුණු ක්‍රියාදාමයට තමා එකඟ නොවන බවයි ජනාධිපති නීතිවේදී ශ්‍රීනාත් පෙරේරා ප්‍රකාශ කළේ.

“මේක හරිම ගැටළු සහගතයි. මේ ආකාරයෙන් විනිසුරුවරුන් ඉවත් කොට අලුතින් පත් කිරීමට ගියොත් ඉදිරියේදී එන රජයන්ද තමාට අවශ්‍ය විදියට ඉවත් කිරීම් සහ පත් කිරීම් කරන්න පුළුවන්. ඒ නිසා මම මිට එකඟ වන්නේ නැහැ.’ ඔහු කියා සිටියේය.

මෙම සමුදීමේ උත්සවය සඳහා උපරිමාධිකරණයේ විනිසුරුවරු සහ මහාධිකරණ, දිසා හා මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරු සහභාගී වී සිටියෝය.