ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආබාධිත සොල්දාදුවන්ගෙන් නව ආණ්ඩුවට ආයාචනයක්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ දින සියයේ වැඩසටහන යටතේ සිය හිඟ වැටුප් ගැටලුව විසඳීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ආබාධිත රණවිරුවන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති පි වී එස් ශාන්ත ඒ බව කියා සිටියේ නඩු විභාගයක් සඳහා උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින්.

"යුද්ධයෙන් ආබාධිත වූ දෙදහසකට ආසන්න පිරිසක් අපේ රටේ සිටිනවා. ඔවුන් විශ්‍රාම ගන්වා තිබුනත් හිඟ වැටුප් ගෙවීමක් සිදුකරන්නේ නැහැ. ඒ නිසයි අපිට නඩු මගට බැසීමට සිදුවුනේ. අපි විශ්වාස කරනවා දින සියයේ වැඩසටහන යටතේ අපේ ප්‍රශ්නයට පිළියමක් රජය සලසා දේවි කියල," ඔහු ප්‍රකාශ කළේය.

'මාධ්‍ය නිහඬයි'

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති සමයේ තම ගැටලුවට ජනමාධ්‍යවලින් නිසි ප්‍රචාරයක් ලබා නොදුන් බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව් එම් එස් වික්‍රමසිංහ මේ අතර සඳහන් කළේය.

"එහෙත් දැන් තත්වය වෙනස් වී තිබෙනවා. අපි හිතනවා දැන් සාධාරණය ඉටුවේවි කියා," ඔහු පැවසීය.

මේ අතර හිඟ වැටුප් ලබා නොදීමට එරෙහිව ආබාධිත යුද හමුදා සෙබළුන් 293 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ රජයේ නීතිවේදියා, ගැටලුව නිරාකරණය කිරීම සඳහා කල් ලබාදෙන මෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව පෙත්සම ලබන මස 18 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් රජයේ නිතිවේදියාට නියම කළේය.

මේ තුලින් තමන් දැඩි අසාධාරණයකට ලක්ව සිටින බව පැවසූ ඔවුන් තමන්ට හිඟ වැටුප් ගෙවන මෙන් යුද හමුදාපතිවරයාට නියෝගයක් පනවන මෙන් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.