ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පැල්මඩුල්ලේ සහ කොළඹ 'නීති විරෝධී අලි පැටවු'

නීති විරෝධී ලෙස රඳවා තබා ගන්නා ලද බව සැලකෙන අලි පැටවුන් දෙදෙනකු ගතව ගිය දින කිහිපයේදී කළ වැටලීම්වලදී සොයා ගන්නා ලද බව වන ජීවී දෙපාර්තමේන්තු බලධාරීහු පවසති.

සිකුරාදා පැල්මඩුල්ලේ කරන ලද වැටලීමක දී හමු වූ අලි පැටවා කැලයේ සිට පැහැරගත් පැටවකු බවට සැක කෙරෙන බව වැටලීමට සහභාගි වූ වන ජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පශු වෛද්‍ය තාරක ප්‍රසාද් බීබීසී සංදේශයට පැවසීය.

"එක ඇසක් පේන්නේ නැතුව තිබුණා. ඊට අමතරව සතාගේ පරණ, සුව වෙච්ච තුවාල කැළැල් තිබුණා," බවයි ඔහු පවසන්නේ.

සන්තකය 'සැක සහිතයි'

එම අලි පැටවා සිය භාරයට ගත් බව සඳහන් කළ පශු වෛද්‍ය තාරක ප්‍රසාද්, පැටවා ගේ හිමිකරු බව පවසමින් ඉදිරිපත් වූ පුද්ගලයා සඳහන් කළ කරුණු සැකයෙන් තොරව සනාථ වී නැති බවත් පැවසීය.

Image caption නීති විරෝධී ලෙසින් අලි පැටවුන් රඳවා ගැනීම පිළිබඳව ගතව ගිය මාස කිහිපය තුළ විශාල ආන්දෝලනයක් මතු වී තිබේ

"සන්තකය කියන ප්‍රකාශය වැරදි වෙන්නත් පුළුවන්. ඔහුගේ ගෙදරද මේ කියල. ඒක තහවුරු කරගන්න ග්‍රාම නිලධාරිගේ වාර්තාවක් අවශ්‍යයි," යනුවෙන්ද පශු වෛද්‍ය තාරක ප්‍රසාද් කියා සිටියේය.

තවත් වැටලීමකදී හමුවුණු අලි පැටවකුගේ හිමිකාරත්වය සම්බන්ධ ලිපිලේඛණ අස්ථාන ගත වී ඇතැයි දැනුම් දී ඇති බව පවසන පශු වෛද්‍යවරයා, ඒ පිළිබඳව අධිකරණයට කරුණු පැහැදිලි කළ යුතුව තිබෙන බව වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගියදා කොළඹ ඇලන් මැතිනියාරාමයේ කරන ලද වැටලීමකදී හමු වූ අවුරුදු එකහමාරක් පමණ වයසැති අලි පැටවා ද සිය භාරයට ගත් බව ඔහු සඳහන් කළේය.

ඇලන් මැතිනියාරාමය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන් භාරයේ පවතින විහාරස්ථානයක්දැයි බෞද්ධ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කොට තිබෙන බව බීබීසී යේ සරෝජ් පතිරණ කළ විමසීමකදී සඳහන් කළ පශු වෛද්‍ය තාරක ප්‍රසාද්, එය තහවුරු වුවහොත් ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

මීට සති කිහිපයකට පෙර සංදේශය කළ විමසීමක දී අදහස් දැක්වූ උඩුවේ ධම්මාලෝක හිමියන්, නීති විරෝධී ලෙසින් අලි පැටවුන් රඳවා ගෙන සිටින බවට සහ එසේ රඳවා ගත් අලින්ට වද හිංසා පමුණුවන බවට පරිසරවේදීන් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.