ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුමන්ත්‍රණයකට සම්බන්ධ නෑ - අවන්ට් ගාඩ්

ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවලට හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගටම බලයේ රඳවා ගැනීමේ කුමන්ත්‍රණයකට සිය සමාගමේ කිසිදු සම්බන්ධයක් නැති බව අවන්ට් ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානියා පවසයි.

මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාවීම පිණිස නෞකාවලට ආයුධ සපයන අවන්ට් ගාඩ් මරීටයිම් සමාගමට අයත් නෞකාවක තිබී ගාල්ලේ දී අවි ආයුධ තොගයක් සොයා ගැනීම පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

ජනාධිපතිවරණයෙන් අනතුරුවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිගටම බලයේ රැදී සිටීමට හමුදාව යොදා ගෙන කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වන චෝදනාව සහ ගාල්ලේ දී එම ආයුධ තොගය සහ අතර සම්බන්ධයක් පවතින්නේ දැයි විමර්ශන පවත්වන බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශය මීට ඉහතදී බීබීසී සංදේශයට පැවසීය.

එහෙත් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

'විදේශීය ආයුධ'

ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව 2011 දී ලියාපදිංචි කරන ලද සිය සමාගමේ සේවය කරන 8000 කට ආසන්න සේවකයන් අතරින් අති බහුතරය විශ්‍රාමික හමුදා සෙබළුන් සහ ඉහල නිලධාරීන් බව සමාගමේ සභාපතිවරයා බීබීසී සංදේශයට පැවසීය.

Image copyright AVMS
Image caption 'මම කියනවා දස ලක්ෂ පාරක් කිසිම නීති විරෝධී වැඩක්, කවදාකවත් නෑ' බව අවන්ට් ගාඩ් සමාගමේ ප්‍රධානියා පවසයි

"කිසිම අවස්ථාවක මේ ව්‍යාපාරය දේශපාලනයට සම්බන්ධ නෑ," යනුවෙන් ඔහු සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

ආරක්ෂක අමාත්‍යංශයේ පාලනය යටතේ පවතින රක්නා ලංකා සමාගමෙන් අවි ආයුධ සහ සේවාවන් ලබා ගෙන සිය සමාගමේ කටයුතු පවත්වාගෙන ගිය බව පවසන ඔහු, හිටපු නාවික හමුදාපතිවරුන් වන දයා සඳගිරි, සෝමසිරි දිසානායක සහ ජයනාත් කොළඹගේ යන අද්මිරාල්වරුන් මෙන්ම හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක ද සිය සමාගමේ සේවයේ නිරතව සිටින බව ද සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටුවන ලද රක්නා ලංකා සමාගමේ ක්‍රියාකාරකම් පිළිබඳව ද විශේෂ පොලිස් විමර්ශනයක් පැවැත්වේ.

සංදේශය සමඟ සාකච්ඡාවට එක්වීමට මොහොතකට පෙරත් රහස් පොලිස් කණ්ඩායමක් එහි පැමිණ සිටි බව අවන්ට් ගාඩ් සමාගමේ ප්‍රධානියා පැවසීය.

"මම කියනවා දස ලක්ෂ පාරක් කිසිම නීති විරෝධී වැඩක්, කවදාකවත් නෑ," බවයි මේජර් නිශ්ශංක සේනාධිපති අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකාවේ දී රක්නා ලංකා සමාගමෙන් නීත්‍යානුකූලව තාවකාලිකව ලබාගත් අවි ආයුධ හැරුණු කොට, සිය නෞකාවල තිබෙන අනෙක් සියලු ආයුධ සහ ආම්පන්න විදේශවලින් මිලදී ගත් දේ බවත් අවන්ට් ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානියා සංදේශයට කියා සිටියේය.