මොහාන් පීරිස් ඉවත් කිරීම ගැටළු සහගතයි -කෙහෙළිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් පදවියෙන් ඉවත් කරනු ලැබූ ක්‍රියාදාමය ඉතා ගැටළු සහගත බව මහින්ද රාජපක්ෂ පරිපාලනයේ හිටපු ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය ස්වාධීන බවට හෝ මොහාන් පීරිස් ඉවත් කිරීම වැරදි බවට විරුද්ධ පක්ෂය මේ මොහොතේ තර්ක නොකරන බවයි, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සංදේශයට කියා සිටියේ.

කෙසේ නමුත් අගවිනිසුරුවරයකු ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව ඔහු අවධාරණය කරයි.

ග්‍රේ ඒරියා

‘ගරු අග්‍රාමාත්‍යවරයා ගෙන ආවේ වෙනත් තර්කයක්. ඉවත් කිරීම නීත්‍යනුකූල නැහැ ඒ නිසාම පත් වීම නීත්‍යනුකූල නැහැ කියල. එහෙමනම් මුළු පාර්ලිමේන්තුවම ඒකට වග කියන්න ඕන. කතානායක තුමා ඒකට අත්සන් කරලා බාර දීල තියෙනවා. මෙතෙක් කල් ඒ සම්බන්ධව ඉඟියක්වත් කරලා නැහැ. ඒ නිසා එතන තියෙනවා ග්‍රේ ඒරියා එකක්.’ කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

එවකට විරුද්ධ පක්ෂය එරෙහි වූයේ අගවිනිසුරුවරිය ඉවත් කිරීම පිළිබඳව මිස එහි ක්‍රියාදාමය පිළිබඳව නොවන බවයි ඔහු සරෝජ් පතිරණ සමඟ පැවති සාකච්ඡාවකදී වැඩිදුරටත් කියා සිටියේ.

නීතීඥ සංගමය

‘ඒකට ගෙන ආපු තාක්‍ෂණ ක්‍රමවේදයන් තුළ ගැටළුවක් තිබුනා නම් ඒවා කතානායකට පෙන්නුම් කරන්න තිබුනා ඊට පසු දවසේ. අනිත් එක, අපි දැකපු තව දෙයක් තමයි නීතීඥ සංගමය තමයි මේ ක්‍රියාදාමය කරන්නේ.’ රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා කියයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ අධිකරණය ‘හෑල්ලුවට ලක් වුණු උච්චතම අවස්තාව මෙය’ බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාද ප්‍රකාශ කර ඇති බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

යළිත් වරක් එක්සත් ජාතික පක්ෂයට එක්වීම පිණිස තමන් කළ ඉලීමක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කරන ලද බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු බීබීසීයට කියා සිටියේය.