මගේ උත්සවවලට පාසල් ළමුන් නැහැ - ජනාධිපති

Image copyright Rupavahini

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිසිදු රාජ්‍ය උත්සවයකට පාසල් ළමුන් සහභාගී කර නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාතික නිදහස් උළෙල සඳහා පාසල් දරුවන් යොදා නොගන්නා මෙන් තමා බලධාරීන්ට නියෝග කළ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේය.

‘මම සහභාගී වන කිසිම උත්සවයක පාසල් දරුවෝ ගෙනහල්ලා පාරේ තියන්න එපා. අව්වේ තියන්න එපා. මට පාසල් දරුවන්ගේ පෙළපාලි අවශ්‍ය නැහැ. පුංචි දරුවෝ ඇවිල්ලා විඳින දුක මම දන්නවා’ යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියේ උපුල් ශාන්ත සන්නස්ගල සමග ජාතික රූපවාහිනියේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රයෝජනය වෙනුවෙන් “ඇමරිකානු ඩොලර් දාසයක් වටිනා සුඛෝපභෝගී ගුවන් යානයක් ” සඳහා කර ඇති ඇණවුම අවලංගු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඒ වෙනුවට ශ්‍රී ලංකා ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම සතු ගුවන් යානාවලට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීමට තීරණය කර ඇති බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම සාකච්ඡාවේදී කියා සිටියේ.

තමා ඇමතීමේදී අතිගරු, ශ්‍රීමත්, උතුමාණන් වැනි විශේෂණ යොදා නොගන්නා ලෙසත් නව ජනපති මෛත්‍රීපාල සිරිසේන එහිදී ඉල්ලීමක් කළේය.