ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වැලිකඩ ඝාතනය ගැන 'පරීක්ෂණයක් පවත්වන්න'

2012 වසරේ නොවැම්බර් මාසයේ වැලිකඩ බන්ධනාගාරයේ හටගත් ගැටුමක දී සිරකරුවන් විසිහත් දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණ.

සිද්ධිය ඇසින් දුටු එම අවස්ථාවේ රැඳවියකුව සිටි සුදේශ් නන්දිමාල් ද සිල්වා පැමිණිල්ල ඉදිරිපත් කරමින්, බන්ධනාගාර කැරැල්ල මැඩ පැවැත්වීමේ මුවාවෙන් තමන්ට අවශ්‍ය වූ රැඳවියන් පමණක් තෝරා ගෙන මරා දැමූ බවට රජයේ ආරක්ෂක අංශවලට චෝදනා කළේය.

මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බව පැවසූ නන්දිමාල් ද සිල්වා ඇතැම් මාධ්‍ය මෙම ඝාතන සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන බව ද පැවසීය.

'පිළිගන්න බෑ'

"මේක පිළිගන්න බැරි තත්වයක්. රජයේ ආරක්ෂක හමුදා සිරකරුවන් ඝාතනය කිරීම අනුමත කරන්න බැහැ. මේක මානව හිමිකම් කඩ කිරීමක්," යනුවෙන් ඔහු චෝදනා කළේය.

සිද්ධියෙන් ඝාතනයට ලක්වූ සිරකරුවකුගේ පියකු වන සුගත් අතපත්තු අදහස් දක්වමින්, යුද්ධය දිනා දුන් සෙබළුන්ට තමන් ගරු කරන නමුත් මෙවැනි ක්‍රියා අනුමත නොකරන බව පැවසීය.

"රණවිරුවන්ට ගරු කිරීමට අපි සූදානම්. ඔවුන්ට විනයක් තිබිය යුතුයි. මේ ඝාතන පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා," ඔහු සඳහන් කළේය.

යහපාලනය සඳහා වූ නීතිවේදීන්ගේ එකමුතුවේ අධ්‍යක්ෂ නීතිවේදී සේනක පෙරේරා කියා සිටියේ, මෙම ඝාතන පිළිබඳව සොයා බැලීමට පසුගිය රජය කොමිසමක් පත් කළ නමුත් ඉන් සාධාරණයක් ඉටු නොවූ බවයි.

මෙම පැමිණිල්ල භාරගත් පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවට පොරොන්දු වූ බවද පැමිණිලිකාර නන්දිමාල් ද සිල්වා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.