සන්නස් මගින් අලි ඇතුන් පැවරීම 'නීති විරෝධීයි'

Image copyright Wasantha Senanayake

සන්නසක් මාර්ගයෙන් කිසිවෙකුටත් අලියකු පවරා දීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල අයිතියක් නැතැයි යන්න සිය මතය බව වන ජීවී කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කරයි.

"ජනාධිපතිවරයාට බලතල ලැබෙන්නේ සන්නස මගින් පරිත්‍යාගයක් කරන්න ව්‍යවස්ථාවේ 33 (බී) වගන්තිය යටතේ," කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

"ඒකෙ කියවෙන්නේ චංචල නොවූ දේපොලක් ජනාධිපතිවරයාට සන්නසක් මගින් පරිත්‍යාග කරන්න පුළුවන් බවයි. ඒ යටතේ බලන කොට අලියෙක්, ඇතෙක් නිශ්චල දෙපොලකුත් නෙවෙයි, ඉඩමකුත් නෙවෙයි," ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව තවදුරටත් නීති උපදෙස් ලබා ගෙන නඩු පැවරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ

Image copyright environment conservation trust
Image caption 'සයිටිස් ප්‍රඥප්තිය යටතෙත් අපිට වනයෙන් අල්ලන සතෙක්, කිසිදු අවස්ථාවක කෙනෙකුට හෝ ආයතනයකට හෝ ලබා දෙන්න බෑ'

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සන්නසකින් පවරා දෙන ලද අලි පැටවු දෙදෙනකු තවදුරටත් රැක බලා ගැනීමට නොහැකි බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා වන ජීවී බලධාරීන්ට භාර දෙනු ලැබිණ.

එම පැවරීම පමණක් නොව 1978 සිට විධායක ජනාධිපතිවරුන් විසින් කරන ලද සියලු අලි ඇතුන් පවරා දීම් නීති විරෝධී බවයි, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක අවධාරණය කරන්නේ.

"වන ජීවීන් සම්බන්ධ සයිටිස් නම් ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙනවා," බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, "සයිටිස් ප්‍රඥප්තිය යටතෙත් අපිට වනයෙන් අල්ලන සතෙක්, විශේෂයෙන් අලියෙක් කිසිදු අවස්ථාවක කෙනෙකුට හෝ ආයතනයකට හෝ ලබා දෙන්න බෑ," යනුවෙන්ද පැවසීය.

ඒ අනුව වනයෙන් අල්ලා ගන්න අලියකු විදේශයකට පරිත්‍යාග කිරීමත් නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සඳහන් කළේය.

ව්‍යවස්ථාවේ 33 (බී) වගන්තිය යටතේ සන්නසක් මාර්ගයෙන් අලි ඇතුන් පවරා දීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේද යන්න පිළිබඳව අර්ථකතනයක් ලබා ගැනීම පිණිස අධිකරණය වෙත යොමු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර