ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අගමැති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ විය යුතුයි'

මීළඟ මැතිවරණයෙන් ජය ගැනීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අගමැති අපේක්ෂකත්වය ලබා දිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

බීබීසීයේ තිසර රතුවිතාන සමඟ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර කළ සම්පුර්ණ සාකච්ඡාව මෙසේයි. හඬ පටය අමුණා ඇත.

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඔබ තරඟ කරනවාද?

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන්නට බලාපොරොත්තු වෙනවා අපේ පක්‍ෂයත්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පැත්තක තියල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කරන්නට තීරණය කළහොත්?

එතකොට අපේ වමේ පක්ෂ එකතු වෙලා තරඟ කරන්නට වෙනවා.

මේ සඳහා දැන් සාකච්ඡා ආරම්භ වී තිබෙනවාද?

තියෙන්න ඕන. නමුත් තාම ආරම්භ වෙලා නැහැ. අනියම් ලෙස කතා බස් කෙරෙමින් තිබෙනවා. නමුත් ශ්‍රීලනිපයත් එක්ක අපට ගිවිසුමකට එන්න පුළුවන්නේ. අපි අන්තිම මොහොතේත් බලන්නේ යූඇන්පී විරෝධී ඡන්ද එකට තියාගන්න.

යූඇන්පී විරෝධී

ඇයි යූඇන්පී විරෝධී සන්ධානයක් හැටියට තවමත් ඡන්දයකට යන්න හිතන්නේ?

හැමදාම අපි යූඇන්පී විරෝධීනෙ.

ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට ඔබේ එකඟතාවක් නැද්ද?

ඒකට පක්ෂයි. ඒ ඉල්ලීම ඉස්සෙල්ලම කළේ අපි.

එහෙමනම් ඇයි යූඇන්පී විරෝධී ස්ථාවරයක ඉන්නේ මේ වෙලාවේ?

යූඇන්පීය කියන්නේ එකක්. ජනාධිපති බලය කියන්නේ තව එකක්. යූඇන්පීය කියන්නේ අධිරාජ්‍යවාදයත් එක්ක සම්බන්ධ කම් ඇති මේ රටේ ඉහළ පන්තියේ දක්ෂිණාංශික සංවිධානය.

මහින්ද රාජපක්ෂ

ඉදිරි මැතිවරණය සඳහා තරඟ කිරීමට හිටපු ජනාධිපතිවරයා සමඟ අලුත් පක්ෂයක් තනා ගැනීමට යනවා කියන්නේ ඇත්තක්ද?

එවැනි අදහසක් අපේ නැහැ. එහෙම රාවයක් යනවා. ඒක අපේ එකතුව බිඳීමට යොදවන උපක්‍රමික කුමන්ත්‍රණයක්. දැන් මහින්ද මහත්තයත් හැබැයි කැඳවා ගන්න ඕන මේ ඡන්ද ව්‍යාපාරයට. එතුමාගේ අගමැති අපේක්ෂකත්වයක් ඇති වුනොත් තමයි ප්‍රබල ජයග්‍රහණයක් ලබන්න පුළුවන්.

මීළඟ අගමැතිවරයා වීමට මහින්ද රාජපක්ෂ කැමැත්ත පළ කර තිබෙනවාද?

තාම කැමැත්ත පළ කරල නැහැ. නමුත් එතුමා එක්ක කතා කරන්න ඕන. ජයග්‍රහණය ගන්න ඕනෙ නම් එතුමා අගමැති අපේක්ෂකයා හැටියට දාගෙන මහ මැතිවරණයට ගියොත් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිය හැකියි.

වමේ පක්ෂ එකතු වෙලා තරඟ කරන්නට සුදානම් කියල ඔබ මොහොතකට පෙර කිව්වා?

නැහැ. මම කිව්වේ ශ්‍රීලනිපයේ එකඟත්වයෙන්. ශ්‍රීලනිපය වෙනම පක්‍ෂයක්. අපි වෙන පක්‍ෂයක්. අපි වමේ. ඒගොල්ලෝ මැද මාවතේ. අපි ගිවිසුමකට එන්න ඕන. අපි බෙදුනොත් යූඇන්පීය දිනනවා.

නමුත් වමේ පක්‍ෂත් පසුගිය ජනාධිපතිවරණය සමඟ සීසීකඩ ගිහින් නේද?

ඒකට ග්‍රීසියෙන් ආදර්ශය ගන්න ඕන. ග්‍රීසියේ වමේ පක්ෂ ඔක්කොම ඒකට එකතු උනා.

ඇමතිකම් සඳහා

කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් නේද පක්ෂ නායකයන්ට ඇමතිකම් ලබා ගැනීම සඳහා සාමාජිකයන් අමතක කර මෙවැනි තීරණයකට යනවා කියල?

ශ්‍රීලනිපයත් එක්ක අපි 1956 ඉඳලා සන්ධාන ගත වෙලානෙ. ඒක අපේ ‘ස්ට්‍රැටජි’ එක.

නමුත් ශ්‍රිලනිපයේ වත්මන් නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඔහුගේ ඉල්ලීම ජාතික ආණ්ඩුවක්. මෙතනදී ඔබේ ස්ථාවරය වෙනස් නේද?

අපි ජාතික ආණ්ඩුවකට එකඟ නැහැ. නමුත් අපිට එකතු වෙලා ඡන්දේ ඉල්ලන්න පුලුවන්. ඡන්දේ නොබෙදීම සඳහා.

එතකොට පාර්ලිමේන්තු අසුනක් ලබා ගැනීම සඳහා පමණක්ම ද සන්ධාන ගත වෙන්නේ?

ඇත්ත වශයෙන්ම. පාර්ලිමේන්තු අසුනක් ලබා ගැනීමටයි අපි මේ උත්සාහ කරන්නේ. පාර්ලිමේන්තුවට පුළුවන් තරම් වමේ අය ගන්න.

වමේ කාරක සභිකයන්

එතකොට පරස්පරයක් මතු වෙන්නේ නැද්ද වමේ පක්‍ෂවල කාරක සභිකයන් ඉවත් කිරීම සහ යළිත් සන්ධාන ගත වීම පිළිබඳව?

මට නම් එහෙම පරස්පරයක් හෝ දෝෂයක් පෙනෙන්නේ නැහැ.

නමුත් වමේ කාරක සභිකයන් ඉවත් කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය දැක්වීම නිසා. දැන් ඔබ සුදානම් ජනාධිපතිවරයාගේ පක්ෂය සමඟ සන්ධාන ගත වෙන්න?

නෑ නෑ. අපි හිටියේ සන්ධානේ. මෛත්‍රීපාල මහත්තයා ඒකෙ සභාපති වුණේ ඡන්දෙන් පස්සේ.