ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුව දැනටම පොරොන්දු කඩලා - කුසල්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම ඇතුළු විපක්ෂ සන්ධානයේ ප්‍රතිපත්ති අතර මුල්ගල් ලෙසින් සලකුණු ප්‍රධානම කරුණු දැනටමත් අත්හැර දමා ඇතැයි දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ පාලක සන්ධානයට චෝදනා කරයි.

ඉදිරි මහමැතිවරණය අලුත් මැතිවරණ ක්‍රමයක් යටතේ පවත්වන බවට දුන් ප්‍රතිඥාව ද දැනටමත් කඩකොට ඇති බවයි, ඔහු පවසන්නේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා ඒ බව කියා සිටියේ, පාර්ලිමේන්තු සංකීර්ණ පරිශ්‍රයේ පැවැත්වුණ නිදහස් දින උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළ කරුණු පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

'හොඳ සඥාවක්'

දෙමළ ජාතික සන්ධානය නිදහස් උත්සවයට සහභාගී වීම ශ්‍රී ලංකික සමාජ සංහිඳියාව පිලිබඳ ධනාත්මක සංඥාවක් ලෙස දකින ඔහු ජනාධිපතිවරයා ගේ නිදහස් දින පණිවුඩයේ පවා සංහිදියාව ඇතිකිරීම සහ දුප්පත්කම තුරන් කිරීම ඉලක්ක ලෙස දක්වා තිබීම යහපත් නැඹුරුවක් ලෙස දකින බවයි ප්‍රකාශ කළේ.

එසේවුවද, වර්තමාන ආණ්ඩුවේ සංයුතිය පිලිබඳ සලකා බැලීමේ දී පරස්පර මත වලින් යුත් පිරිසක් එක්ව අධිෂ්ඨානශීලීව එක් අරමුණක් වෙත යාමේ හැකියාව සැකයට බඳුන්වන බවයි ඔහු පවසන්නේ.

'පරස්පරය ලොකුයි'

ජනවාරි අට වැනිදා තෙක් බලයේ සිටි සන්ධාන ආණ්ඩුවද විවිධ මතවාදී කොටස්වල එකමුතුවක්ව තිබිය දී ඔවුන් එක් ඉලක්කයක් වෙත ගෙන යාමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමත්වූ ආකාරයෙන් වර්තමාන ජනාධිපතිවරයාට කටයුතුකළ නොහැක්කේ මන්දැයි විමසූ විට කුසල් පෙරේරා කියා සිටියේ රාජපක්ෂ සන්ධානය තුළ බලවත්ව සිටියේ ජාතික නිදහස් පෙරමුණ, හෙළ උරුමය වැනි සිංහලවාදී බලවේග බවයි.

"මේ ආණ්ඩුවේ ඊට වඩා පරස්පරය ලොකුයි. එකක් විධායක ජනාධිපතිධුරය බර තියන්නෙ නැහැ මේ ආණ්ඩුවේ දිශානතිය හරවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයට. හෙළ උරුමයට පුංචි සංවිධානයක් හැටියට ලොකු බලපෑමක් කරන්නත් අමාරුයි. අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය නැති නිසා අගමැති ප්‍රමුඛව ආණ්ඩුව තමන්ගේ දිශානතියකට තල්ලුකරගෙන යන්න අමාරුයි" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

'ඉලක්ක වෙනස්වෙලා'

කෙසේ වුවද ජනාධිපතිවරණයට වසරකට පමණ පෙර සිට මහින්ද රාජපක්ෂ විරෝධී ජන ව්‍යාපාරය විසින් මුලිකව අපේක්ෂාකළ විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම සහ නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම යන ඉලක්කයන් ගෙන් ඉවතට මේ රජය දැනටමත් ගමන්කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.