සිසිර හඬ නිහඬ වෙයි

ජනප්‍රිය ගායක හා සංගීතඥ සිසිර සේනාරත්න අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු දිවි මගේ 79 වැනි විය පසු කරමින් සිටියේය.

ඔහු ගැයූ , ‘ගයා ගීතයන් ගමේ වෙල් එළියේ’, ‘ඕලු නෙළුම් නෙරිය රඟාලා’, ‘මාගෙ පුතුට මල්’, ‘පිදුරු සෙවිලි කළ පැල්පතේ’, ආදී ගීත රැසක් එදා මෙන්ම අදත් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ගීත රචකයෙක් වූ ඔහු තනු නිර්මාපකයෙක්.

සිනමාවට එක්වන සිසිර සේනාරත්නයන් වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ රේඛාව චිත්‍රපටයෙන්. ඒ ‘ඕලු නෙලුම් නෙරිය රඟාලා’යන ජනප්‍රිය ගීතය රසිකයන්ට දායාද කිරීමෙන්.

1965 තිර ගතවූ හඳපාන චිත්‍ර පටයේ සංගීත අධ්‍යක්ෂවරයාවූ සිසිර සේනාරත්නයන් 1966 සරසවි සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස පිදුම් ලැබීය.

අනන්‍ය වූ හඬක්

Image copyright Sisira Senaratne

පරම්පරා තුනක් මුළුල්ලේ රසික හදවත් දිනු ලබැඳි ගායකයෙකුවූ සිසිර සේනාරත්නයන්ට අනන්‍ය වූ හඬක් සහ පෞරුෂයක් තිබු බව ප්‍රකාශක කරන මහාචාර්ය සුනිල් ආරියරත්න ඒ නිසාම ඔහුට පුරා යුග ගණනාවක් රසික හදවත් දිනා ගැනීමට හැකිවූ බව පැවසුවේය.

තරුණ හදවත් දිනා ගත් ‘ගොළු හදවත’ නව කතාව මෙන්ම සිසිර සේනාරත්න සහ ඔහුගේ බිරිඳ ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගැයූ ‘නුහුරු නුපුරුදු රහස පිළිබඳ’ ගීතයත් එකසේ තරුණ හදවත් අතරට සමීප විය.