ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කේපීට රටින් පිටවීම තහනම්

කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පත්මනාදන් හෙවත් කේපී රටින් පිටවීම තහනම් කරමින් අභියාචනාධිකරණය අද (බ්‍රහස්පතින්දා) ආගමන සහ විගමන පාලකවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිවේදිනි අධිකරණය හමුවේ කියා සිටියේ කුමරන් පත්මනාදන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව දැනුම් දීම සඳහා කල් ලබා දෙන ලෙසයි.

වග උත්තර කරු රටින් පිටවී ගියහොත් ඉදිරිපත් වී ඇති පෙත්සම සලකා බැලීමෙන් ප්‍රයෝජනයක් නැති බව පැවසූ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ පසුව මෙම තහනම් නියෝගය නිකුත් කළ බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී සුනිල් වටගල පැවසුවේ.

මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතිවේදී සුනිල් වටගල කියා සිටියේ කේපී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් සත්‍ය අනාවරණය වන නිසා ඔහුගේ ජීවිත ආරක්ෂාව සැලසීමට රජය පියවර ගත යුතු බවයි.

අනතුරුව පෙත්සම ලබන 19 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට කේපී පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයාට නියම කරනු ලැබීය.