ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වරාය ව්‍යාපෘතිය ගැන අවසන් තීන්දුවක් ගෙන නෑ - අගමැති

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද, සිකුරාදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

මේ ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කළ විමසීමකට පිළිතුරු දෙමිනුයි අගමැතිවරයා එසේ පැවසුවේ.

විශාල ජනමතයක්

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතියට එරෙහිව විශාල වශයෙන් චෝදනා එල්ලවූ අතර විශාල ජනමතයක් ද ගොඩ නැගී තිබුණ බවයි.

විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ඉකුත් මැතිවරණ වේදිකාවේ දී ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කළ බව ප්‍රකාශ කළේය.

රජය බලයට පත්වූ වහා මෙම ව්‍යාපෘතිය පිළිබඳ ලිපි ගොනු ඉල්ලා සිටි බවයි ඔහු පැවසුවේ.

ඒවා පරීක්ෂා කිරීමෙන් පසු අවශ්‍ය සියලු වාර්තා නොමැති බවත්, පරිසර වාර්තාවල අඩුවක් දක්නට තිබුණු බවත්, ඒ අනුව තවදුරටත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කළ බවත් ඔහු පැවසුවේය.

පරිසර සංවිධාන

තමාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල උප කමිටුවක් ද පත් කළ බවයි අගමැතිවරයා කියා සිටියේ.

පරිසර සංවිධාන විසින් ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස දැඩි විරෝධයක් පල කළ බවත් ඔහු පැවසූවේය.

තවමත් ව්‍යාපෘතිය ගැන අවසන් තීන්දුවක් ගෙන නොමැති බව පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ පත් කළ කමිටු වල වාර්තා ලැබෙන තුරු බලා සිටින බවයි.

ඒ බව ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන් චාඕ හට දන්වා සිටි බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ.