ජෝන් ට එරෙහි විශ්වාස භංග යෝජනාව කථානායක අතට

Image copyright AFP
Image caption අත්සන් තැබූ 114 දෙනාගේම සහයෝගය ලැබෙනු ඇති බවටයි විශ්වාසය පළකරන්නේ

පසුගිය දිනක වත්තල ප්‍රාදේශීය සභාවේ ඇතිවූ කලහකාරී වාතාවරණය පිළිබඳව සැලකිල්ලට ගෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම විසින් වර්තමාන රජයේ අමාත්‍යවරයෙකු වන ජෝන් අමරතුංග ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කථානායක වෙත භාර දී තිබේ.

නිදහස් සන්ධාන සාමාජිකයන් 114 දෙනෙකු ගේ අත්සන් වලින් යුතු මෙය කථානායකවරයා වෙත භාර දී ඇත්තේ විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් විසින්.

මේ පිළිබඳව සංදේශය කළ විමසීමක දී එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායමේ ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා පැවසුවේ වත්තල සිදුවීම පමණක් නොව ජනාධිපතිවරණයෙන් පසු රට පුරාම සිදු වූ පහර දීම් ආදිය සලකා බලා මෙවැනි විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි.

“අගලවත්ත ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රාදේශීය සභා මන්ත්රීවරයෙක්ව එලියට ගෙනල්ල, ඔහුට ගහල බිම දාල ඔහුට අඩම්තේට්ටම් කළා. ඒ විතරක් නොවෙයි හැම ප්‍රදේශයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෙවල් වලට ඒ වගේම උදව් කාරයින්ට පහර දුන්න” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසූ ඔහු නීතිය සහ සාමය භාර ඇමතිවරයා ගේ සම්බන්ධතාවෙන් මෙවැනි දේ සිදු වීම මේ තීරණයට හේතු වූ බවයි ප්‍රකාශ කළේ.

විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක දී අත්සන් තැබූ 114 දෙනාගේම සහයෝගය ලැබෙනු ඇති බවටයි මන්ත්‍රීවරයා විශ්වාසය පළකළේ.

ප්‍රතිචාර

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර පළ කළ ජෝන් අමරතුංග අමාත්‍යවරයා පැවසුවේ තමන් ඔවුන් චෝදනා එල්ල කරන සිද්ධිවලට සම්බන්ධයක් නැති බවත් පොලීසිය පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කරන බවත්.

විපක්ෂය පවසන සිද්ධිය ඇතිවූ අවස්ථාවේ දී තමන් එම ස්ථානයේ නොසිටි බවයි ඔහු පවසන්නේ.

දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් සුළු තුවාල ලබා ඇති බව පැවසූ ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් පොලීසිය නීත්‍යානුකුලව පියවර ගෙන ඇති බව සඳහන් කළේය.

හත් දෙනකු පමණ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදරිපත් කොට ඇප මත නිදහස් කොට ඇති බවයි ඔහු කියා සිටියේ.

පසු ගිය දිනවල දිවයිනේ සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලීසියට උපදෙස් දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර