නැගෙනහිර පළාත් සභාවේ ජාතික ආණ්ඩුවක් - හකීම්

සිය පක්‍ෂයේ නායකත්වයෙන් යුත් නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය ධුර භාර ගන්නා මෙන් මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂවලින් ඉල්ලීමක් කරයි.

සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජන කොටස් තුන එක් වී නැගෙනහිර පළාත් සභාව තුළ ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට සිය පක්ෂය බලාපොරොත්තු වන බව මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පැවසුවේය.

නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හෆීස් නසීර් දිව්රුම් දීමත් සමග පළාත් ආණ්ඩු වෙත නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීම පිණිස මෙම ඉල්ලීම කරන බව මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැය යෝජනාවලිය සම්මත කිරීම සඳහා බහුතර පක්ෂවල ඡන්දය හිමි වීමත් සමග රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ වී ඇති බවයි නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම් කියා සිටියේ.

‘සභා ගර්භය තුළ සෑම පක්ෂයක් පාසාම අයවැයට ඡන්දය දී අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් අරන් තියන බව පේනවා. ඒ සංස්කෘතියම නැගෙනහිර පළාත් සභාවේ අයවැය විවාදයට ගන්නා අවස්ථාවේදී පිළිපදියි කියලා අපි බලාපොරොත්තු වෙනවා’ අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මින් ඉදිරියට ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ අරමුණින් කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

‘ඒ ජාතික රජයක් පිළිබඳ වූ සංකල්පයට ආදර්ශයක් හැටියට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වයෙන් යුත් නැගෙනහිර පළාත් සභාවේදී අපි සෑම පක්ෂයකටම ඇරයුමක් කරනවා අපේ ආණ්ඩුවත් සමග එක් වෙන්න කියලා’ යනුවෙන් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් වැඩි දුරටත් කියා සිටියේය.

නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හෆීස් නසීර් දිව්රුම් දීමත් සමග මුස්ලිම් කොංග්‍රසයේ අභ්‍යන්තරය තුළ මතභේදයක් හට ගෙන තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර