ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හෙල්පිං හම්බන්තොට: 'අසරණයකුට පිහිට වීමක්'

'හෙල්පිං හම්බන්තොට' නඩු විභාගයේදී තමන් ඇතුළු විනිශ්චය මණ්ඩලය කළේ අසරණයකුට සරණ වීමක් විනා මිත්‍රයෙකුට ආධාර කිරීමක් නොවන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පවසයි.

හිටපු අගවිනිසුරුවරයා ඒ බව කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂව එම නඩු විභාගයේ තීන්දුව දීම පිළිබඳව සමාව ඉල්ලා සිටින්නේ යයි කළ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බවට එල්ල වන චෝදනා පිළිබඳව බීබීසී සංදේශයට කරුණු පැහැදිලි කරමින්.

"ඒක අධිකරණයට අපහාස කිරීමක් නෙවෙයි, අධිකරණයේ ගරුත්වය රැක ගැනීමක්. මට ඕක නිශ්ශබ්දව ඉන්න තිබුණා," යන්නයි ඒ චෝදනාවට ඔහුගේ ප්‍රතිචාරය වූයේ.

කෙසේ වෙතත් අදාළ විමර්ශනය ආරම්භ කරන මෙන් යළිත් වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඕනෑම පුද්ගලයකුට තවමත් අවස්තාව තිබෙන බවද හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සඳහන් කළේය.

'වන්දි ගෙවන්න'

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් නඩුව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි මුදල් ගෙවන මෙන් පැමිණිලිකරු කබීර් හෂීම් මන්ත්‍රීවරයා, එවක පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ එවකට රහස් පොලිසියේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේය.

හිටපු අගවිනිසුරු එම තීන්දුව පිළිබඳව සමාව ඉල්ලා තිබෙන බැවින් ඔහු පුද්ගලිකවම එම තිදෙනාගේ වන්දි මුදල් ආපසු ගෙවිය යුතු බවයි, සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් සපයමින් ටාසි සෙනවිරත්න හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසා තිබුණේ.

එහෙත් සරත් සිල්වා හිටපු අගවිනිසුරුවරයා එම තර්කය තරයේ ප්‍රතික්ෂේප කරයි. දේශපාලන බලපෑමක් මත පොලිසිය එම නඩුව පැවරීමට උත්සාහ කළ බව පැහැදිලිවම දකින්නට ලැබුණ බවයි, ඔහු පවසන්නේ.

හිටපු අගවිනිසුරුවරයා ගේ සමාව ඉල්ලීම නීති විරෝධී බවට නීතිවේදී එකමුතුවේ චන්ද්‍රපාල කුමාරගේ නීතිඥවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය විමසීම පිණිස ඉරිදා ඔහු ඇමතීමට සංදේශය දැරූ සාර්ථක නොවීය.

හිටපු අගවිනිසුරුවරයා බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ ඉහත කී අදහස් දැක්වුයේ, මීට සති කිහිපයකට ඉහතදී.