අධිකරණයේ ස්වාධීනත්වය ගැන 'නව බලාපොරොත්තුවක්'

Image copyright Sudath Silva
Image caption 'ප්‍රමාදයකින් තොරව යුක්තිය ඉටුකිරීම හරහා අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය රැකගත හැකියි'

පමාවකින් තොරව සෑම පුරවැසියකුටම සමසේ නීතියේ ආරක්ෂාව සැලසීම අධිකරණවලින් ඉටුවිය යුතු ප්‍රධාන කාර්යභාරයක් බව නව අගවිනිසුරු කනගසබාපති ශ්‍රීපවන් පවසයි.

නව අගවිනිසුරු ශ්‍රීපවන් ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ 44 වැනි අග්‍ර විනිශ්චයකාරවරයා පිළිගැනීම පිණිස උපරිමාධිකරණ සංකීර්ණයේ පැවති චාරිත්‍රානුකූල නිල උත්සවයේදී.

සමාජයක් නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය සාධකයක් බවයි, අග්‍ර විනිශ්චයකාරවරයා ප්‍රකාශ කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති පරිදි සෑම පුරවැසියකුම නීතිය ඉදිරියේ සමාන ආකාරයෙන් සැළකිය යුතු බව පැවසූ අග විනිසුරුවරයා, ස්වාධීන අධිකරණයක අඩිතාලම නිර්මාණය වන්නේ ඒ තුලින් බව කියා සිටියේය.

'විශ්වාසය බිඳ වැටුනා'

යුක්තිය ප්‍රමාදයකින් තොරව ඉටුකිරීම හරහා අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය රැකගත හැකි බවද ඔහු කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නව අග්‍ර විනිශ්චයකාර කේ ශ්‍රීපවන්, අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම සඳහා නීතිවේදීන්ගේ දායකත්වයද බෙහෙවින් වැදගත් බව අවධාරණය කළේය.

නව අග්‍ර විනිශ්චයකාරවරයාගේ මෙම ප්‍රකාශ මගින් ස්වාධීන අධිකරණයක් පිළිබඳව යළි බලාපොරොත්තුවක් ගොඩනැගෙන බවයි, ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුවේ නීතිවේදී ඒඑස්එම් පෙරේරා කියා සිටියේ.

"ශ්‍රී ලංකාව ශක්තිමත් අධිකරණ පද්ධතියක් උරුම කරගත් රටක්. එහෙත් පසුගිය අවුරුදු දහ අට, විස්සක කාලසීමාව තුළ අධිකරණවල ඉහල තනතුරුවලට පත්වූ පුද්ගලයින්ගේ ක්‍රියාකලාපය නිසා අධිකරණ කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටුණා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"එහෙත් අද අපිට සතුටු වෙන්න පුළුවන් දවසක්. නැවත ස්වාධින අධිකරණයක බලාපොරොත්තු අප තුල මතුවී තිබෙනවා."

මෙම පිළිගැනීමේ උත්සවය සඳහා නීතිපතිවරයා, ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු නීතිවේදීන් විශාල පිරිසක් සහභාගි වී සිටීම කැපී පෙනෙන සිදුවීමක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර