ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අගමැති අපේක්ෂක මහින්දද?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කරන ලෙස එම සන්ධානයට අයත් පක්ෂ කිහිපයක් බල කර ඉල්ලා සිටිති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස නම් කර එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ විපක්ෂයේ බලවේග සියල්ල එක් වී තරග කළ යුතු බවට බල කෙරෙන මාධ්‍ය හමුවක් සඳුදා කොළඹදී පැවැත්විණි.

සන්ධානයේ පාර්ශවකරුවන් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර හා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල ඊට එක් වී සිටියහ.

පසුගිය ජනාධිපතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය ලබා දුන් පනස් අට ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තුව මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් බිහි කිරීම නොව මහ මැතිවරණය ජය ගෙන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව ආණ්ඩුවක් බිහි කිරීම බවයි මාධ්‍ය හමුව ඇමතූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ.

'බටහිර අවශ්‍යතා'

ඉදිරි මැතිවරණයෙන් පසුවත් අරමුණ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නම් වෙන වෙනම තරග කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ එසේ සිදු වන්නේ බටහිර රටවල අවශ්‍යතාවයන්ට අනුව බවයි.

නව ආණ්ඩුව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගෙන ඇති ඇතැම් වැරදි තීරණ නිසා කොටස් වෙළඳපොළ මෙන්ම රටේ නිෂ්පාදන කේෂ්ත්‍රයේ කඩා වටීමක්ද සිදු වෙමින් තිබෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉදිරි මාස කිහිපය තුළ ජන ජීවිතයට ඇති විය හැකි අර්බුදකාරී තත්වය හේතුවෙන් අයවැය අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය ලබා දීමට තම පක්ෂය ඇතුළු සෙසු පක්ෂ ක්‍රියා කළ බව එහිදී අදහස් දැක්වූ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේය.

'ජනතාවට අවශ්‍ය'

ජනතාවට අවශ්‍ය ජාතික ආණ්ඩුවක් නොව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් බවයි මාධ්‍ය සාකච්ඡාවට එක් වී සිටි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබා දෙන ලෙස ඉල්ලා බල කෙරෙන රැළියක් ලබන දහඅට වනදා කොළඹදී පැවැත්වීමට නියමිත බව එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

'ආරාධනයක් නැහැ'

අත්අඩංගුවේ පසු වන තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මුණගැසීමට මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද සඳුදා වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිටියේය.

දහඅට වනදා කොළඹදී පැවැත්වීමට නියමිත රැළියට සහභාගි වනවා ද යන්න එහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ තමන්ට එවන් රැළියක් සඳහා ආරාධනයක් ලැබී නොමැති බවයි.