ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් 'පිළිසරණක් නැහැ'

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය හාම්පුතුන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බව පැවසෙන ශ්‍රී ලාංකික තරුණයන් පස් දෙනෙක් ශ්‍රී ලංකාව බලා පැමිණෙති.

එම තරුණයන්ගෙන් එක් අයකු බරපතළ ලෙස පහර කෑමට ලක් වී සිටි අතර ඔහු මේ වන විට මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රෝගී තත්වය උත්සන්න වී තිබෙන බව ශ්‍රී ලංකාවට පැමිණි වයික්කාලේ උදාර චතුරංග සංදේශයට කියා සිටියේය.

වැටුප් අඩුවෙන් ගෙවීම පිළිබඳ විමසා සිටි අවස්ථාවේ තමාට බරපතළ ලෙස පහර දුන් බවයි ඔහු පවසන්නේ.

ඉන් අනතුරුව තමා සිටි ගොඩනැගිල්ලෙන් පහලට අද දැමූ බවත් වාසනාවකට තම ජීවිතය බේරුණ බවත් උදාර චතුරංග කියා සිටියේය.

උදාර චතුරංග ඇතුළු ඉහත කී තරුණයන් ශාන් ඉන්ටනැෂනල් නමැති ආයතනයක සේවය කර ඇති බවයි ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සංදේශයට කියා සිටියේ.

එම ආයතනය යටතේ සේවය කරන තවත් ශ්‍රී ලාංකික තරුණයන් හතළිස් හතර දෙනෙකුගේ ජීවිත අවදානමක පවතින බවයි උදාර චතුරංග සඳහන් කළේ.

තමා නීති මාර්ගයෙන් කටයුතු කරන්නේ නම් ඒ සඳහා ඉතා දිගු කාලයක් ඩුබාහි රැඳී සිටීමට සිදු වන බව ඩුබාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දුන් බව කියා සිටි උදාර, අසරණ වූ තමා වෙනුවෙන් නොව විදේශ සේවා ආයතනය වෙනුවෙන් තානාපති කාර්යාලය පෙනී සිටි බවද කියා සිටියේය.