"වරාය නගරය - සින්නක්කර ඉඩම් චීනයට දෙන්නේ නැහැ"

Image copyright defence.lk

කොළඹ වරාය ආශ්‍රිත වරාය නගර ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරනවද නැත්ද යන්න තවමත් තීරණයක් ගෙන නොමැති බව වරාය නාවික කටයුතු හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග ප්‍රකාශ කරයි.

වරාය නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව ලැබීමෙන් පසු තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාවක් ඇතිවූ බවයි අමාත්‍යවරයා බිබිසියට පැවසුවේ.

කොළඹ වරාය ආශ්‍රිත වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව කර ගෙන යාමට අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය බ්‍රහස්පතින්දා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

නමුත් ඉන් දිනකට පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා නොදුන් බවයි.

මෙම වරාය නගරය ඉදිකිරීමෙන් පසු චීනයට සින්නකරව ඉඩම් ලබා දීමට ඇතිවී තිබෙන එකඟතාවට නව රජයේ අනුමැතිය නොලැබෙන බව පැවසූ අර්ජුණ රණතුංග අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ බිම් අගලක් හෝ සින්නක්කරව විදේශ රටකට නොදිය යුතු බව තම මතය මෙන්ම රජයේ මතය බවයි පැවසුවේ.

මෙම නගරය ඉදිකිරීමෙන් පසු රටේ ආරක්ෂක තත්වයට බලපාන ආකාරය හා මෙමගින් පරිසර බලපෑම් විය හැකිද යන්න පිළිබඳව ගැඹුරින් සොයා බැලීමට රජය තීරණය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා එමගින් පරිසරයට යම් බලපෑමක් එල්ලවේ නම් ව්‍යාපෘතිය අවලංගු කිරීමේ දැඩි තීරණය ගැනීමට ද පසු බට නොවන බවයි ප්‍රකාශ කළේ.

මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ චීන රජය සමග නොව චීනයේ සමාගමක් සමඟ බව පැවසූ අමාත්‍යවරයා ඔවුන්ගේ අතින් දූෂණ හොරකම් ආදිය සිදුවී ඇති බවට වාර්තාවී ඇත්නම් ඒ පිළිබඳව දැඩි තීරණයක් ගැනීමට සිදු වන බවයි ප්‍රකාශ කළේ

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර