ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී විභූතිය උදෙසා අලි ඇතුන්ට වද දීම 'වරදක්'

කිසිවකුගේ ශ්‍රී විභූතිය හුවා දැක්වීම පිණිස වඳ වීමේ තර්ජනයට මුහුණ දී සිටින අලි ඇතුන් කැලයෙන් අල්ලා ගෙන හිරිහැර කිරීම වරදක් බව මල්වතු, අස්ගිරි මහානාහිමිවරුන්ගේ මතය බව මල්වතු පාර්ශවයේ අනුනායක හිමියෝ පවසති.

කෙසේ නමුත් පැරණි රජ සමයේ පටන් සම්ප්‍රදායානුකූලව පැවතෙන පරිදි බෞද්ධ සිද්ධස්ථානවල පෙරහැර ආදී ආගමික වතාවත් වෙනුවෙන් අලි ඇතුන් යොදාගැනීමට දිගටම අවසර දිය යුතුය යන්න මහානායක හිමිවරුන්ගේ අදහස බවත් නියංගොඩ විජිතසිරි අනුනායක හිමියෝ බීබීසී සංදේශයට පැවසූහ.

අනුනායක හිමියන් ඒ බව කියා සිටියේ, රාජ්‍ය අනුග්‍රහය ලැබුන බලවත් පිරිස් පසුගිය කාලයේ වනගත අලි, ඇත් පැටවුන් අල්ලා ව්‍යාජ බලපත්‍ර සකස් කොට සතුන් තමා සන්තකයේ තබා ගැනීම ගැටළු රැසකට හේතු වී ඇති බවට මහනායක හිමිවරුන් කළ සඳහන පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ.

විලංගු 'අවශ්‍ය නෑ'

ඇතැම් බලවත් පුද්ගලයන් පසුගිය සමයේ බලපත්‍ර කිසිවක් නොමැතිව නීති විරෝධී ලෙසින් අලි ඇතුන් ළඟ තබාගෙන සිටි බැවින් එබඳු පුද්ගලයන් සහ ඔවුන් සන්තකයේ ඇති සතුන් අත්අඩංගුවට ගැනීම වරදක් නොවන බව මහනාහිමිවරුන් සඳහන් කළේ යයි ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.

Image copyright Airforce.lk
Image caption 'මිනිස්සුන්ගේ ශ්‍රී විභූතිය පෙන්නන්න අවශ නෑනේ නීති විරෝධී අන්දමින්?'

මහනාහිමිවරුන් ඒ බව පවසා තිබෙන්නේ ශ්‍රී ලංකා හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ හා හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් අඟහරුවාදා හමු වූ අවස්ථාවේදී.

පෙරහැර ඇතුළු බෞද්ධ සම්ප්‍රදායයන් වෙනුවෙන් අලි ඇතුන් යොදාගැනීම සත්ව හිංසාවක් බවට ඇතැමුන් නඟන චෝදනාව පදනම් විරහිත වූවක් බවයි, නියංගොඩ විජිතසිරි අනුනායක හිමියන් අවධාරණය කරන්නේ.

"හැබැයි සමහර විට පෙරහැර වගේ දේවල්වල අපිට ආරක්ෂක විධිවිධාන යොදන්න උනා නේ ඉස්සෙල්ල. ඒ නිසා සමහර විට විලංගු එහෙම යෙදුව. දැන් නම් මම හිතන්නේ එහෙම දාන්න අවශ්‍ය කමක් නෑ," යනුවෙන්ද උන්වහන්සේ සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක්වෙමින්.

කෙසේ නමුත් අලි ඇතුන් පැහැරගෙන නීති විරෝධී ජාවාරමක යෙදීම අනුමත කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද අනුනාහිමියෝ පැවසූහ.

"ජීව ලෝකයේ ජීවීන් අතර සම්බන්ධතා තියෙනවනේ. අලි පැටවා සහ ඇතින්න එකට ඉන්න ඕනෑ කරන කාලසීමාවක් තියෙනවා. කල්පනා නොකරන සමහර මිනිස්සු මට අලි පැටවෙක් හිටිය නම් හොඳයි කියල ඒවා කැඩුව නම් ඒවා වැරදි දේවල්."