උතුරේ ඉඩම් අක්කර දාහක් මුල් පදිංචිකරුවන්ට

උතුරු ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාප ලෙස යුධ හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර දහසක ප්‍රමාණයක් නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමට රජය තීරණය කරයි.

මිට අමතරව නැගෙනහිර ප්‍රදේශයේ අක්කර 400ක පමණ ප්‍රමාණයක් ද කොළඹ ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය අවට අධි ආරක්‍ෂිත කලාපයේ ඇති ගොඩනැගිලි ද ජනතාවට නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කල බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මධ්‍ය හමුවේදීයි.

ආදර්ශ ගම්මානයක්

උතුරු ප්‍රදේශයෙන් නිදහස් කරන අක්කර දහසක ඉඩමෙන් අක්කර 220 ක යුද්ධයෙන් අවතැන් වූ පවුල් 1,022ක ජනතාව නැවත පදිංචි කරමින් ආදර්ශ ගම්මානයක් පිහිටුවීමට ද රජය තීරණය කල බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙම ඉඩම් නිදහස් කිරීමෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බව ඔහු අවධාරණය කළේය.

මෙම ඉඩම් නිදහස් කිරීම හේතුවෙන් අවතැන් කඳවුරුවල ජිවත් වන පුද්ගලයන්ට තම පදිංචි ස්ථානවලට යාමට හැකි වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

'ජන සංහාරය'

ශ්‍රී ලංකාවේ යුද්ධය සමයේ සිදු වූ බව පවසන යුධ අපරාධ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පවසමින් උතුරු පළාත සම්මත කළ යෝජනාව රජය පිළිගන්නේ නොමැති බව පැවසූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල තව දුරටත් කියා සිටියේ රජයේ මතය වී තිබෙන්නේ මෙම ගැටලුවට අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීම බවයි.

උතුරු ප්‍රදේශයේ ජන සංහාරයක් සිදු වූ බවට උතුරු පළාත් සභාව සම්මත කළ යෝජනාව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභාවේ අභ්‍යන්තර දේශපාලන ගැට‍ළු නිසා සිදු වූ එකක් බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්ව සිටි පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානය සමග එක්ව උතුරේ ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීමට රජය සැම විටම සුදානම් බවයි ඔහු පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර