ශ්‍රීලනිප අළුත් මුහුණු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ වෙනසක් සිදු විය.

අද සෙනසුරාදා (14) බත්තර මුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැත්වුන පක්ෂ නිලධාරීන්ගේ රැස්වීමේදීයි එම වෙනස සිදු කෙරුණේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක කාරක සභාව රැස්ව නව තනතුරු සඳහා පුද්ගලයන් පත් කර ගත් බවයි කියා සිටියේ.

සියලු නිලධාරීන් ඒකච්ඡන්දයෙන් පත් කර ගත් බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය දැරූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේ දී පරාජයට පත් වීමෙන් අනතුරුව පක්ෂ ව්‍යවස්ථාව අනුව නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පක්ෂයේ සභාපති පදවිය ද හිමිවයි තිබුණේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතල වල සිදු කළ යුතු වෙනසක් පිළිබඳව දිගින් දිගටම අදහස් පළ වෙමින් තිබිණි.

Image caption ශ්‍රීලනිප විධායක සභා රැස්වීමක්

ඒ අනුව ශ්‍රීලනිප පක්ෂ යාන්ත්‍රනය අභ්‍යන්තරයේ අද (14) සිදු කෙරුණ ප්‍රධාන වෙනස් කම් වන්නේ, පක්ෂ සාමාජිකත්වය හිමි හිටපු ජනාධිපතිවරුන්ට සහ අගමැතිවරුන්ට අනුශාසක පදවි පිරිනැමීමයි.

එසේම හිටපු ඇමති බැසිල් රාජපක්ෂ විසින් දරන ලද ජාතික සංවිධායක පදවිය සුසිල් ප්‍රේම ජයන්ත් හිටපු ඇමතිවරයා වෙතයි පවරා තිබෙන්නේ.

සියළු නිලතල ඒකච්ඡන්දයෙන්

හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම විසින් දරන ලද පක්ෂයේ භාණ්ඩාගාරික පදවිය මෙවර පවරා තිබෙන්නේ එස්.බී.නාවින්න හිටපු ඇමැතිවරයාටයි.

මෛත්‍රීපාල සිරිසේන පාලනයේ ප්‍රබලයකු වන සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පක්ෂයේ උප සභාපති පදවියකට පත් කරනු ලැබ ඇත.

හිටපු නියෝජ්‍ය ඇමති මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් (කරුණ අම්මාන්) දැරූ උප සභාපති තනතුර ඔහුට අහිමි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබල තනතුරක් වන මහලේකම් පදවිය අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා විසින් දිගටම දරනු ඇත.

ඉහත කී නිලධාරී රැස්වීම ආරම්භ වීමට පෙර බස්නාහිර මහඇමති කාර්යාලයේ දී ශ්‍රීලනිප පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවක් පැවැත්වුන අතර එය විවාදාත්මක මුහුණුවරක් ගත් බවයි වාර්තා වන්නේ.