ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වාර්තාව නිකුත් කළ යුතුයි - දෙමළ ජාතික සන්ධානය

ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විමර්ශන වාර්තාව, ප්‍රමාදයකින් තොරව , මින් පෙර තීරණය වූ පරිදි ලබන මස නිකුත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් අවධාරණය කරයි.

එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් සමඟ පසුගිය කාලයේ පැවැත්වූ සාකච්ඡාවල දී එම වාර්තාව නියමිත පරිදි නිකුත් කළ යුතු බව තමන් ඔවුන්ට පැහැදිලි කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

අපක්ෂපාතී වාර්තාවක්

2014 දී සම්මත කර ගත් තීරණයක් අනුව ආරම්භ කළ විමර්ශන කටයුතු අවසන් වන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත් සත්‍ය තොරතුරු ඇතුළත් අපක්ෂපාතී හා සාධාරණ වාර්තාවක් නිකුත් කරන බව එම නිලධාරීන් තමන්ට පැවසූ බවත් ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේය.

ජාත්‍යන්තර සහය ඇතිව විශ්වාසවන්ත අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට රජය ප්‍රකාශ කොට තිබෙන බව පැවසූ ඔහු ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු විය යුතු බවත් එම කරුණ සම්බන්ධව විදේශ ඇමති මංගල සමරවීර උත්සාහයක නිරතව සිටින බවත් ප්‍රකාශ කළේය.

සාමය සහ සංහිඳියාව

දෙමළ ජනතාව දිගු කලක සිට මුහුණ දෙන දුක් පීඩා නිමාවකට ගෙන ඒම අත්‍යවශ්‍ය බවද ඒ සඳහා රටේ ජනතාව අතර සැබෑ අවබෝධයක් සහ සමානාත්මතාව පදනම්වූ සාමය සහ සංහිඳියාව ඇති විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම තත්වය ඇතිවීමට නම් සිදුවූ සියලු දෑ සියලු දෙනා විසින් දැන ගත යුතු බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.