ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වන අලි බාධක ජීව වැට

ගොවීන්ගේ වගා සහ වාස භූමි වන අලින්ගෙන් රැක ගැනීමට මෙතෙක් යොදා ගත් විදුලි වැට වෙනුවට ‘ජීව වැට’ ඉදිකිරීමේ නව අත්හදා බැලීමක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආරම්භ කරයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගිනි.

පැරණි විදුලි වැටට සමාන්තරව හණ, දෙහි, බෝගන්විලා වැනි කටු සහිත ශාක වර්ග පේළියට වැවීමයි මෙහි දී සිදු වන්නේ.

කන්තලේ වැවේ ප්‍රධාන වානේ සිට ආයිල් අඩිය දක්වා ඇති ගම්මාන දොළහක් මායිම් වන සේ කිලෝ මීටර් තිස් තුනක් දුරට ‘ජීව වැට’ ඉදි කෙරෙන්නේ එහි පළමු අදියර වශයෙනි.

ලෝකයේ බොහෝ දියුණු රටවල් වන අලි බාධකයක් හැටියට ජීව වැට ක්‍රමය සාර්ථකව යොදා ගන්නා බවයි කන්තලේ වනජීවී අඩවි නිලධාරි ජී එම් රත්නායක පවසන්නේ.

බුද්ධි මට්ටමින් ඉතා ඉහල සත්වයෙකු වන අලියාට ලී හෝ ගැල්වනයිස් කණු සිටුවා ඉදි කරන විදුලි වැට අභියෝගයක් නොවන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

කන්තලේ සිවිල් ආරක්ෂක බලකා අණ දෙන නිලධාරි මේජර් ඩී ඒ එස් කුමාර විසින් කරන ලද යෝජනාවකට අනුව වන අලි බාධක ජීව වැට ඉදි කිරීමට ප්‍රදේශයේ සිවිල් ආරක්‍ෂක භටයන්ගෙන් නොමඳ සහයක් ලැබෙන බවයි සංදේශය වාර්තාකරු ආර් ජී ධර්මදාස පවසන්නේ.