ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහින්ද වෙනුවෙන් රටපුරාම මාලිගා - රනිල්

හිටපු ජනාධිපතිවරයා ඇතුළු මහින්ද රාජපක්ෂ පරිපාලනයේ බලවතුන්ගේ සුඛ විහරණය උදෙසා ආරුගම්බේ හි නිවාඩු නිකේතන 57ක් ඉදි කොට තිබුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ප්‍රභූවරයන්ගේ භාවිතය සඳහා පමණක් ඒ අතරින් සුඛෝපභෝගී නිවාඩු නිකේතන 14 ක් වෙන් කොට තිබුණු බවද අගමැතිවරයා පැවසීය.

ආරුගම්බේ එම නිවාඩු නිකේතන සංකීර්ණය හඳුන්වා දී තිබුනේ 'ජාත්‍යන්තර සම්බන්ධීකරණ මූලස්ථානය' ලෙසින් බව සඳහන් කළ අගමැතිවරයා, ආරුගම්බේ හි සිදු කළ හැකි ජාත්‍යන්තර සම්බන්ධීකරණය කවරක් දැයි ප්‍රශ්න කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඒ අදහස් පළ කළේ ගාල්ලේ දී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් අමතමින්.

'තරු හයේ හෝටලයක්'

ඒ හැරුණු කොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් රටපුරාම 'මාලිගා' ඉදිකරමින් තිබුණු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

Image caption "මගෙන් ඇහුවා සම්බන්ධන් මන්ත්‍රීතුමා තරු පහේ හෝටලයක් අපිට දාන්න පුළුවන් වේවිද කියල. මම කිවුව නෑ, සම්බන්ධන් තරු පහේ හෝටලයක් මෙතන දාන්න බෑ, තරු හය නැත්නම් හතයි"

යාපනයේ ද එවැනි 'මාලිගාවක්' ඉදි කොට තිබුණු බව පැවසූ අගමැතිවරයා, එය හෝටල් සමාගමකට බදු දිය යුතු බවට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට ආණ්ඩුව තීරණය කළ බවද කියා සිටියේය.

"මගෙන් ඇහුවා සම්බන්ධන් මන්ත්‍රීතුමා තරු පහේ හෝටලයක් අපිට දාන්න පුළුවන් වේවිද කියල. මම කිවුව නෑ, සම්බන්ධන් තරු පහේ හෝටලයක් මෙතන දාන්න බෑ, තරු හය නැත්නම් හතයි," යනුවෙන් අගමැතිවරයා සඳහන් කළේ රැස්ව සිටි පිරිසගේ සිනා හඬ මධ්‍යයේ.

"මට ජනාධිපතිතුමා කිවුව මහියංගනේ එකක් තියෙනව කියල. ඇඹිලිපිටියේ එකක් තියෙනව කියල. මොනරාගල. ඉතින් මේ මාලිගා එක්ක මොනවා කරන්නද?"

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන්ම රුපියල් කෝටි 9000 ක් අය වැයෙන් වෙන් කොට තිබුණු බව පැවසූ අගමැතිවරයා, එවැනි නාස්තිකාර වියදම් කපා හැරියේ නම් බඩු මිල අඩු කොට ජනතාවට සහණ ලබාදීමට මහින්ද රාජපක්ෂ පරිපාලනයට ද හැකියාව තිබුණු බව අවධාරණය කළේය.

'රැකියා දස ලක්ෂයක්'

සිය ආණ්ඩුව විසින් ජනතාවට සහන ලබාදීම, විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සහ දූෂිතයන්ට දඬුවම දීම යන දින සියයේ වැඩසටහනේ ප්‍රධාන අංග තුන ක්‍රියාවට නැගීම දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති බවයි, ඔහු පවසන්නේ.

දින සියයේ වැඩසටහනෙන් අනතුරුව පිහිටවෙන නව ආණ්ඩුවේ අවධානය යොමු වන්නේ නව රැකියා දස ලක්ෂයක් උදා කිරීම ඇතුළු දිගු කාලීන වැඩපිළිවෙල කෙරෙහි බවත් අගමැතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා සමඟ සමීපව ක්‍රියාකරමින් සිය ආදායම තර කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කළ බවට අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සංචාරක සමාගම් සහ හෝටල්වලට චෝදනාවක් ද එල්ල කළේය.

විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ උණවටුන ඇතුළු ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය විනාශ කළ බවත් අගමැතිවරයා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ පරිපාලනයේ මෙවැනි සියලු දූෂිත ක්‍රියාකාරකම් වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවූයේ සාමාන්‍ය මහජනතාවට බවයි, අගමැතිවරයා පවසන්නේ.