පළාත් සභා බලතල අවුලක්

Image copyright Newsfirst.lk

ශ්‍රී ලංකාවේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර මතු වී ඇති ඇතැම් ගැටළු සහගත තත්වයන් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පළාත් සභා මහඇමතිවරුන් හය දෙනෙක් එකඟ වී සිටිති.

මේ සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ පවත්වන ලද සාකච්ඡාවක දී දකුණු පළාත් සභාවේ මහ ඇමති ෂාන් විජේලාල් ද සිල්වා කියා සිටියේ මධ්‍යම ආණ්ඩුවේ පාලනයේ ඇතැම් රෙගුලාසි පළාත් සභා විෂයයන්ට බාධාවක් වී ඇති බවයි.

දකුණු, බස්නාහිර ,උතුරු මැද, වයඹ, සබරගමුව සහ මධ්‍යම යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය පවතින පළාත් සභා හයක මහ ඇමැතිවරුන් අතරයි ඉහත කී එකඟතාව ඇති වී තිබෙන්නේ.

‘ පළාත් සභා ක්‍රමය ආරම්භයේ පටන් ම අපි මධ්‍යම ආණ්ඩුවත් සමඟ එවැනි ගැටළු වලට මුහුණ දුන්නා. පසුගිය දා බලයට පත් එක්සත් ජාතික පක්ෂ පාලනයේ සමහර ඇමතිවරුන්ගේ ක්‍රියාකාරකම් පළාත් සභා පරිපාලනයට හානිකර වන බව පෙනී යනවා’ දකුණු පළාත් සභාවේ මහ ඇමති ෂාන් විජේලාල් ද සිල්වා කියා සිටියි.

එවැනි තත්වයක් යටතේ තමන්ට මුහුණ දීමට සිදු වී ඇති ගැටළු පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කිරීමට පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් මහ ඇමතිවරුන් තීන්දු කළ බවයි ශාන් විජේලාල් ද සිල්වා පවසන්නේ.

ගැටුමක් එපා

පළාත් සභා සමඟ අනවශ්‍ය ගැටුමක් සිදු කිරීමෙන් වළකින මෙන් ජනාධිපතිවරයා මගින් ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට දැනුම් දීම තම උවමනාව බවයි දකුණු පළාත් සභාවේ මහ ඇමැතිවරයා පවසන්නේ.

‘ඍජුව පළාත් සභා විෂය ක්ෂේත්‍රයට අයත් කරුණු තියෙනව. ජාතික පාසල් පාලනය හැරුණ විට අනිකුත් පාසල් විශාල සංඛ්‍යාවක් අයත් වන්නේ පළාත් සභාවලටයි. නමුත් රේඛීය අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමතිවරයා පළාත් සභා සැලකිල්ලට නොගෙන අප යටතේ සිටින නිලධාරීන්ටත් චක්‍ර ලේඛන නියෝග නිකුත් කෙරෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා’ දකුණු පළාත් සභාවේ මහ ඇමතිවරයා පෙන්වා දෙයි.

ඉහත කී කරුණු වලට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිය පිළිබඳවත් තම අවධානය යොමු කරන ලද බවයි මහ ඇමතිවරයා පවසන්නේ.

සෙසු පළාත් සභා තුනේ බලය අයත් වන්නේ එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානයටයි.