ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වැලිකඩ ඝාතන පරීක්ෂණ වාර්තාව සති පහකින්

2012 වසරේ නොවැම්බර් මාසයේ වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ හා සිරකරුවන් අතර හට ගත් ගැටුමක දී සිරකරුවන් විසිහත් දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව ආරම්භ කළ නව පරීක්ෂණය මාස දෙකක් තුල අවසන් කරන බව රජය පවසයි.

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මියගිය සිරකරුවන්ගේ ඥාතීන්ට එම සහතිකය ලබා දුන්නේ ඔවුන් අද (17) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයකට එක් වෙමින්.

බන්ධනාගාරය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයට වැලිකඩ ප්‍රහාරයෙන් මියගිය සිරකරුවන්ගේ ඥාතීහු හා සිවිල් සංවිධාන නියෝජිතයෝ එක්ව සිටියහ.

දඩුවම්

ඔවුන් මෙහි දී රජයෙන් ඉල්ලා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් තෝර තෝරා ඝාතනය කළ සැකකරුවන්, ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගෙන වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබා දිය යුතු බවයි.

ඝාතනයට ලක්වූ 27 හැවිරිදි සිරකරුවකු වන මලිත් සමීර පෙරේරාගේ මව සංදේශයට අදහස් දක්වමින් පැවසුවේ තමන් ඉල්ලා සිටින්නේ කිසිදු මුල්‍ය වන්දියක් නොව මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා මෙම ඝාතනවලට සම්බන්ධ පිරිසට දඬුවම් ලබා දෙන ලෙස පමණක් බවයි.

මෙම ඝාතන සැලසුම් සහගත ව සිදු වූ එකක් බව තවත් ඝාතනයට ලක් වූ 25 හැවිරිදි සිරකරුවකුගේ මවක් පැවසුවාය.

ස්වාධීන පරීක්ෂණයක්

නව රජය යටතේ මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවයි ඇය පැවසුවේ.

ඝාතනයට ලක් වූ සිරකරුවකු වන නිර්මල අතපත්තුගේ මව වන එස්.කේ මලානි පැවසුවේ තම පුත්‍රයා අධිකරණයෙන් පවා වැරදිකරුවකු නොකර තිබු අවස්ථාවක ඔහු ඝාතනයට වූ බවයි.

මෙම විරෝධතාවයට එක්ව සිටි මාධ්‍යවේදී කසුන් පුස්සවෙල පැවසුවේ මෙම ඝාතන සිදු වුයේ ලැයිස්තුවකට අනුව බව තමන් දිගින් දිගටම සාක්ෂි සහිතව රාවය පුවත්පතේ තම ලිපි මගින් සනාථ කර ඇති බවයි.

මෙම විරෝධතාවය අවසන් වන විට එම ස්ථානයට පැමිණි අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට නව කමිටුවක් පත් කර ඇති බවත් ඔවුන් මෙම අමානුෂික ඝාතනවලට සම්බන්ධ පුද්ගලයන්ට නිසි දඬුවම් එම කමිටුව මගින් ලබා දෙනු ඇති බවත් පැවසුවේය.