'මට බලය අහිමි වුණේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස'

රටට එරෙහි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස තමන්ට බලය අහිමිවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද බ්‍රහස්පතින්දා නුගේගොඩදී පැවති ජන රැළියට සුභපැතුම් පණිවිඩයක් එවමින්.

රට ගැන සිතන රට වෙනුවෙන් කැප වෙන අයගේ අපේක්ෂාවන් නොසලකා සිටීමේ හැකියාවක් තමන්ට නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා එවූ පණිවිඩයේ සඳහන් වූයේ.

සුභපැතුම් පණිවිඩයක්

Image caption ජාතික නිදහස් පෙරමුණ, මහජන ‍එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම රැළිය සංවිධානය කර තිබූණි.

‘මහින්දට ඡන්දය දුන් ලක්ෂ 58ක ජනතා අභිලාෂ ඉටු කරමු’ යන තේමාව යටතේ මෙම රැළියට දිවයිනේ ප්‍රදේශ රැසකින් අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.

මේ හේතුවෙන් නුගේගොඩ මං සන්ධිය එකම හිස් ගොඩක් බවට පත්වූ අතර ඒ අවට මාර්ග රැසක තිබුනේ දැඩි වාහන තදබදයක්.

ජාතික නිදහස් පෙරමුණ, මහජන ‍එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම රැළිය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසකුත් මෙයට එක්ව සිටියහ.

'ලංකාවේ ජනප්‍රියතම ජනපති මහින්ද රාජපක්ෂ'

නව ආණ්ඩුව රට බෙදුම්වාදී වැඩපිළිවෙළක් යටතේ ගෙන යන බව පෙනෙන්නට ඇති නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂක ලෙස පත් කර ඔහුගේ ආණ්ඩුවක් යටතේ රට බේරා ගත යුතු බවයි රැළිය ඇමතූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල පැවසුවේ.

මේ රටේ සැම ප්‍රදේශයකම මහින්ද රාජපක්ෂ රටට අවශ්‍ය බව කියන හඬ ඇසෙන අතර මේ වන විට ලංකාවේ ජනප්‍රියතම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ බවයි මෙහිදී රැළිය ඇමතූ මහජන ‍එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පැවසුවේය.

සන්ධානය දෙකඩ කිරීම මෙම රැළියේ බලාපොරොත්තුව නොවන බව පැවසූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සන්ධානයට බලය ලබා දිය හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ බවයි පැවසුවේ.

මෙම රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුභපැතුම් පණිවිඩයක් ඒවා තිබු අතර එය දේශපාලන විචාරක දයාන් ජයතිලක විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

තමන් පරාජය වුයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස වන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒවා තිබූ පණිවුඩයේ සඳහන් වුයේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රැළිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස විවේචනය කළ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ රජයක් පිහිටු වන බවද ප්‍රකාශ කළේය.