ඉනිය භාරතීට යුද අතුරුදහන් චෝදනා

පසුගිය යුද සමයේ අතුරුදහන් වූ සිය දරුවන් සොයා දෙන මෙන් ඉල්ලා තිරුක්කෝවිල් ප්‍රදේශයේ වැසියන් අද උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනු ලැබීය.

මෙම අතුරුදහන් වීම් පිටුපස සිටින්නේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ඉනිය භාරතී නොහොත් පුෂ්පකුමාර් බවයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ.

යුද්ධය පැවති සමයේ තිරුක්කෝවිල් සහ අවට ප්‍රදේශ වල කාන්තාවන්, වැඩිහිටි පිරිමින් සහ තරුණයින් විස්සකට අධික සංඛ්‍යාවක් ඉනිය භාරතී ඇතුළු කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් මරා දැමූ බව උද්ඝෝෂකයින් පවසයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් උද්ඝෝෂකයින් කියා සිටියේ එලෙස මරා දැමුණු කිහිප දෙනෙකුගේ මල සිරුරු ඉනිය භාරතී ඇතුළු පිරිස විසින් පවත්වාගෙන ගිය කාර්යාල භූමිය වල දමා ඇති බවයි.

මෙම උද්ඝෝෂණයට දරුවන් අහිමි වූ දෙමව්පියන් මෙන්ම සිය දෙමව්පියන් අහිමි වූ දරුවන්ද එක්රැස්ව සිටියහ.

විධිමත් පරීක්ෂණයක්

Image caption උද්ඝෝෂකයින් මේ සම්බන්ධයෙන් සැකසුණ සන්දේශයක් ද සහකාර පොලිස් අධිකාරිවරයාට භාර දෙනු ලැබීය.

උද්ඝෝෂකයින් රජයෙන් ඉල්ලා සිටියේ මෙම අතුරුදහන් වීම් සහ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළි කොට වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසයි.

උද්ඝෝෂණයට රැස්ව සිටි පිරිස විසින් මේ සම්බන්ධයෙන් සැකසුණ සන්දේශයක් ද හේමන්ත දික්ඕවිට අක්කරපත්තු සහකාර පොලිස් අධිකාරිවරයාට භාර දෙනු ලැබීය.

උද්ඝෝෂණයට සහභාගී වී සිටි දිගාමඩුල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකාන්ත් චන්ද්‍රනේරු ද අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඉනිය භාරතී බවයි කියා සිටියේ.

ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමකදී සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් කේ පුෂ්පකුමාර් කියා සිටියේ අදාළ ඉඩම සහ කාර්යාල ගොඩනැගිල්ල එල් ටී ටී සංවිධානය විසින් භාවිතා කළ කාලයේ තමන් එම භූමියට පැමිණ ගොස් ඇති බව පමණක් සත්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම පරීක්ෂණයකට තමන් සුදානම් බව පැවසූ කේ පුෂ්පකුමාර් චෝදනා කළේ මහජන සහය නොමැති දේශපාලකයින් මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර