ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රිචඩ් ද සොයිසා 25 සංවත්සරය

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැර ගෙන ගොස් ඝාතනය කාරනු ලැබීමට වසර විසිපහක් සම්පුර්ණ වීම නිමිත්තෙන් අද (පෙබරවාරි 18) කොළඹ ඕලන්ද රෝහල් භූමියේ දී සමරු මෙහෙයක් පැවැත්වුණි.

මාධ්‍යවේදියකු නළුවකු සහ සමාජ ක්‍රියාධරයකු හැටියට 1980 දශකයේ නමක් දිනා සිටිය දී රිචඩ් ද සොයිසා ඝාතනය කෙරුණේ 1990 පෙබරවාරි 18 වෙනි දිනයි.

ඔහුගේ අගය දන්නා කණ්ඩායමක් විශේෂ සංවිධානයකින් තොරව අද බදාදා ඕලන්ද රෝහල් භූමියට රැස්ව ඉටි පහන් දල්වා මල් තබා ගරු බුහුමන් දැක්වූ බවයි ඊට හවුල් වූ ක්‍රියාධරයකු වූ ගිහාන් ගුණතිලක බීබීසී සංදේශයට කියා සිටියේ.

“අපි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ යම්කිසි සංවිධානයක මෙහෙයුමෙන් නොවෙයි. අපි සහභාගි වෙන්නේ ස්වේච්ඡාවෙන්. මොකද? රිචඩ් ද සිල්වා මාධ්‍යවේදියාගේ අගය දන්නා පිරිසකුයි අද මෙතනට රැස් වුනේ” ගිහාන් ගුණතිලක පවසයි.

තවමත් අභිරහසක්

ඝාතනයට ලක් කෙරුණ රිචඩ් ද සොයිසා ගේ සිරුර කොළඹ තදාසන්නයේ මුහුදු වෙරළේ තිබී හමු වූ අතර ඝාතනයේ අභිරහස තවම සහමුලින්ම හෙළිදරව් වී නැත.

රිචඩ් ද සොයිසා ගේ කාර්යභාරය අගය කරමින් උසස් අධ්‍යාපන ඇමති රජීව විජේසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ, 1980 දශකයේ අගභාගයේ පටන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබුණ ඝාතන රැල්ල එම ඝාතනයත් සමඟ එක්තරා කඩයිමකට පත් වූ බවයි.

“ රිචඩ් ද සොයිසා ඝාතනය එදා පැවති ආණ්ඩුව ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වැළකීමේ තත්වයක් ඇති කිරීමට හේතු වුනා. එම ඝාතනයෙන් පස්සේ අන්තර්ජාතික වශයෙනුත් බලපෑම් තිබුනා.මෙතන දී රිචඩ් ගේ මව මනෝරානි ඉටු කරපු කාර්යභාරයත් ඉතා වැදගත්. මනෝරානි මට කියපු විධියට,රිචඩ් මැරුවට සතියකට පස්සේ රන්ජන් විජේරත්න එවැනි ක්‍රියා කරපු කණ්ඩායමකට කිව්වලු - මෙතෙක් ඔයගොල්ලන් කරපු දේවල්වලට අපි ඔයගොල්ලන් රැක ගත්තා. හැබැයි, මීට පස්සේ ඒක ඉවරයි, කරුණාකරලා දැන් ඒවා නවත්වන්න කියල . මේ කතාව මට කිව්වේ රිචඩ් ගේ මව මනෝරානි සරවනමුත්තු. මම දන්නේ නැහැ මේ කතාව කොතෙක් දුරට ඇත්තද කියල ” මහාචාර්ය රජීව විජේසිංහ පවසයි.

රිචඩ් ද සොයිසා ඝාතනය මෙන් ම විජය කුමාරතුංග ඝාතනය ඇතුළු තවත් ඝාතන පිළිබඳව ද සත්‍යය හෙළිදරව් කර ගත යුතු බවයි ගිහාන් ගුණතිලක පවසන්නේ.