කේපී ගැන තීරණය ප්‍රමාදයි: නීතිපතිට අධිකරණයෙන් දොස්

Image copyright www.interpol.int
Image caption කුමරන් පද්මනාදන්

කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියා මාර්ගය දැනුම් දීම සඳහා දක්වන ප්‍රමාදය පිළිබඳව අභියාචනාධිකරණය නීතිපති දෙපාර්තමේන්තුවට දැඩි දෝෂාරෝපණ එල්ල කරයි.

කුමරන් පද්මනාදන් හෙවත් කේපී පිළිබඳව ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය දැනුම් දීම සඳහා අධිකරණය මිට පෙර දෙවතාවක්ම නීතිපතිවරයාට කල් ලබා දී තිබුණි.

එහෙත් අදාළ පෙත්සම අද (19) කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිවේදියා කියා සිටියේ මිට අදාලව කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.

විරෝධය

ඊට දැඩි විරෝධය පළ කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලලගොඩ නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරයාට වහාම අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියම කළේය.

ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි සොලිසිටර් ජනරාලවරයා කියා සිටියේ කුමරන් පද්මනාදන් පිළිබඳව සිදු කර ඇති පරීක්ෂණ පිළිබඳව තමන්ට දැනුම් දී නොමැති බවත් ඒ පිළිබඳව සොයා බලා දැනුම් දීම සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙසයි.

'බරපතළ සැකයක්'

සොලිසිටර් ජනරාලවරයා ගේ මෙම ප්‍රකාශයත් සමගම පසුගිය කාලයේ කුමරන් පද්මනාදන් පිළිබඳව කිසිදු පරීක්ෂණයක් කර නොමැති බව අනාවරණය වන්නේ යැයි පෙත්සම ගොනු කළ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

‘මේ පිළිබඳව බරපතළ සැකයක් මතු වනවා. කේපී පිළිබඳව කර ඇති පරීක්ෂණ පිළිබඳව කරුණු දැක්වීම සඳහා මිට පෙර අවස්ථා දෙකක් ම ලබා දුන්නා. එසේ තිබියදී තවත් දිනයක් ලබා දෙන මෙන් ඉල්ලීම් තුලින් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බවටයි සාධාරණ සැකයක් මතු වෙන්නේ.’ ඔහු චෝදනා කරයි. ඒ අනුව පෙත්සම ලබන 26 වන දා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මිට අදාලව කරුණු දක්වන මෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාලවරයට නියම කළේය.

කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් බරපතළ අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බව ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පසුගිය රජය මගින් ප්‍රකාශ කර තිබුණි.

ඒ හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නියෝගයක් පනවන මෙන් ඉල්ලා විජිත හේරත් මන්ත්‍රීවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර