අල්ලස් කොමිසම ‘පිරිසිදු කිරීමේ’ උත්සාහයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දූෂණ අපචාරවලින් තොර ආයතනයක් හැටියට පවත්වා ගැනීමේ අවශ්‍යතාවය එම කොමිසම භාර නව අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කොමසාරිස්වරිය එම අවශ්‍යතාව උපමාවකින් පැහැදිලි කළේ ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යනු තමාගේ දෙවැනි නිවස වන අතර සෙසු අයගේ නිවාස වල තත්වය පිරික්සීමට පෙර සිය නිවස පිරිසිදුව තබා ගත යුතු’ යයි බව පවසමිනි.

තමා පදවියට පත් වීමට පෙර කොමිසමේ කටයුතු කළ නිලධාරීන්ගේ විෂමාචාර පිළිබඳව දැන ගන්නට ලැබුණ බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කියා සිටියාය.

‘කවර තරාතිරමක හෝ තනතුරක් දරන නිලධාරියෙක් හෝ නිලධාරිනියක් ඔවුන්ගේ රාජකාරි පරාශය තුළ කිසියම් විෂමාචාර ක්‍රියාවක නිරත වී ඇති බවක් තහවුරු වුනොත්, ඒ තොරතුරු සත්‍යය සහ නිවැරදි බව ඔප්පු කළ හැකි වුනොත් දෙවරක් නොසිතා ඒ ගැන මට නොපමාව දැනුම් දෙන්න’ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඉල්ලා සිටියාය.

එවැනි තොරතුරු තමා වෙත කෙලින්ම දැනුම් දීම සඳහා දුරකථන අංකයක් සහ ඊ මේල් විද්‍යුත් ලිපිනයක් ද ඇය ප්‍රකාශයට පත් කළාය.

විසඳුම් කඩිනමින්

තමා පදවියට පත් කෙරෙන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි ගොනු 1600 ක් පමණ කාර්යාලයේ ගොඩ ගසා තිබුණු බවයි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පවසන්නේ.

ඒවා අතරින් සූක්ෂම ලෙස විමර්ශනය කළ පැමිණිලි 423 ක් දින හයක් ඇතුළත අදාළ අංශ වෙත යොමු කිරීමට සමත් වූ බවත් ඇය පවසන්නීය.

කවර මට්ටමක හෝ බලවත් පුද්ගලයකුට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි යට නොගසන බවයි අල්ලස් කොමිසමේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කියා සිටින්නේ.

‘කොමිසමට ඉදිරිපත්ව ඇතිපැමිණිලි වලින් බහුතරයක් ඉඩම් ප්‍රශ්න පවුල් ප්‍රශ්න පෞද්ගලික පලි ගැනීම් සහ ස්ත්‍රී දූෂණ ආදියයි. එහෙත් මේ කොමිසම පෞද්ගලික ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආයතනයක් නොවෙයි. ඒ ගැන මහජනතාව දැනුවත් කළ යුතුයි. මේ කොමිසමට විමර්ශනය කිරීමට බලය පවතින්නේ අල්ලස් දූෂණ හෝ අනිසි ලෙස රැස් කර ගත් වත්කම් සම්බන්ධයෙන් පමණයි’ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වැඩි දුරටත් පෙන්වා දුන්නාය.