ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව හමුදාපති ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වානව හමුදාපතිවරයාවශයෙන් පත් කරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

සේවා දිගුවක් යටතේ සේවය කරන වත්මන් හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක ලබන සඳුදා විශ්‍රාම ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ 21 වැනි හමුදාපතිවරයා ලෙසින් මේජර් ජනරාල් සිල්වා වැඩ භාරගැනීමට නියමිතයි.

නව යුද හමුදාපතිවරයා පත් කරනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය ආරක්ෂක තොරතුරු විශ්ලේෂක ඉක්බාල් අතාස් සමග පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා එම පදවියට පත් කරනු ලැබීමට සුදුසුකම් ලබන නිලධාරීන් අතර ප්‍රමුඛස්ථානය හිමි කර ගන්නා බවයි.

විශ්ලේෂණයක්

ලුතිනන් ජනරාල් දයා රත්නායක තවත් සේවා දිගුවක් ඉල්ලා තිබුනත් නව රජය නව යුද හමුදාපති වරයකු පත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඉක්බාල් අතාස් සඳහන් කරයි.

‘මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ජ්‍යේෂ්ඨතම යුද නිලධාරියෙක්. ලුතිනන් ජනරාල් දයා රත්නායකට පෙර යුද හමුදාපති පදවිය හිමි විය යුතුව තිබුණේ මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වාටයි. මොකද? ඔහු දයා රත්නායකටත් වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නිසා’ ඉක්බාල් අතාස් පවසයි.

එම අවස්ථාවේ හමුදාපති පදවිය නොලද මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා රුසියාවේ නියෝජ්‍ය තානාපති පදවියට පත් කර යැවීමට පසුගිය ආණ්ඩුව පියවර ගෙන තිබිණි.

එවැනි පියවරක් ගනු ලැබුණේ ඔහු යුද හමුදාපති පදවියෙන් ඈත් කර තැබීමේ පියවරක් වශයෙන්දැයි බීබීසිය ප්‍රශ්න කළ විට ආරක්ෂක තොරතුරු විශ්ලේෂක ඉක්බාල් අතාස් සඳහන් කළේ යුද හමුදාව තුළ පවා එවැනි මතයක් පැවති බවයි.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් 2013 වසරේ සිදු කළ හමුදා පරීක්ෂණයේ ප්‍රධානියා හැටියටත් මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා කටයුතු කර ඇත.