ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේ රහසිගත කඳවුරක්

Image copyright AFP

ත්‍රිකුණාමළයේ නාවික හමුදා කඳවුරේ ගෝඨා නමින් වූ රහසිගත කඳවුරක දෙමළ වැසියන් 700ක් සහ දෙමළ පවුල් 35 ක් වෙන වෙනම රඳවා සිටි බවට පැවසෙන තොරතරු ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බී.බී.සී.යට පැවසුවේය.

ඉතා විශ්වාසදායක පුද්ගලයින්ගෙන් ලැබුණු තොරතුරක් මත පෙබරවාරි19 දා පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර ගැනීමේ අරමුණින් යැයි දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පරීක්ෂණ

මන්ත්‍රීවරයා තොරතුරු ඉදිරිපත් කල පුද්ගලයන් පිළිබඳව සහ ඔවුන් කළ සම්පූර්ණ විස්තර මොනවාදැයි කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන් සතුව ඇති සියලු තොරතුරු ජන මාධ්‍යයට හෙලි කල නොහැකි බවයි.

කෙසේ වෙතත් රහසිගතව රඳවා ගෙන සිටි පිරිසට නාවික හමුදා ට්‍රක් රථ මගින් ආහාර පාන සැපයූ අන්දම තොරතුරු සැපයූ පුද්ගලයන් විසින් විස්තර කල බව කී මන්ත්‍රීවරයා එම පුද්ගලයන් නිදහස් කළේද එසේත් නොමැතිනම් ඔවුන්ට සිදු වූයේ කුමක්ද යන්න ගැන වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවද කියා සිටියේය.

රහසි ගත කඳවුරේ රඳවා සිටි පුද්ගලයන් වෙන වෙනම රඳවා සිටි අතර ඔවුන්ට එකිනෙකා සමග කිසිදු සම්බන්ධතාවක් පැවැත්වීමට කඳවුර බාර නිලධාරීන් ඉඩ නොතැබූ බවද තමන්ට තොරතුරු සැපයූ පිරිස කියා සිටි බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

විශාල සැකයක්

මේ අන්දමට පවත්වා ගෙන ගිය තවත් කඳවුරු ඇති බවට දෙමළ වැසියන් තුළ විශාල සැකයක් පවතින බව කී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් පැවසූ පරිදි යුද සමයේ දී අතුරුදහන් වූ බවට සැක කෙරෙන 140000 ගේ කථාව සත්‍ය යැයි පිළිගැනීමට මෙවැනි රහසිගත රැඳවුම් කඳවුරු සාධකයක් වන බවද කියා සිටියේය.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම වසර දෙකක් තිස්සේ රැස් වන නමුත් කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව එකම සැකකරුවකු හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ සොයා ගැනීමට හෝ නිලධාරීන්ට නොහැකිවී ඇති බැවින් එම කොමිසම පිළිබඳවද කිසිදු විශ්වාසයක් නැතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අභ්‍යන්තර කටයුතු හා මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වුයේ නැත.