යුද අපරාධ චෝදනා විභාග නොකිරීමේ තීරණයට උතුරේ විරෝධය

Image copyright bbc

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කළින් යොදාගත් පරිදි ලබන මාර්තුවේදී ශ්‍රීලංකාවට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා මාර්තු මාසයේ විභාග නොකිරීමට ගත් තීරණයට එරෙහිව උතුරේ විරෝධය පළවේ.

එසේම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා සහ එම් . ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා රජයට පක්ෂපාතී වෙමින් දෙමළ ප්‍රශ්න යටපත් කරන බවටද විරෝධය පල කරමින් අද සෙනසුරාදා යාපනය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණ.

මෙම විරෝධතාවයේදී ආර්.සම්බන්ධන් සහ එම් . ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුන්ගේ අනුරුව පඹයන් මෙන් සකසා ඒවාට ගිණි තබමින් විරෝධතා කරුවෝ සිය විරෝධය පළ කළහ.

දැඩි අසාධාරණයක්

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ යුද්ධය හේතුවෙන් දෙමළ වැසියන් ලක්ෂයකට අධික පිරිසක් මියගොස් තවත් ලක්ෂයකට අධික පිරිසක් අතුරුදහන්ව සිටියදී යුද අපරාධ සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත පරීක්ෂණ කල් දැමීම දැඩි අසාධාරණයක් බවයි.

ලබන මාර්තුවේ දී එම පරීක්ෂණ කටයුතු නියමිත පරිදි පවත්වන මෙන් මෙම උද්ඝෝෂණය තුළින් ඉල්ලා සිටින බව කී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ආර්.සම්බන්ධන් සහ එම.ඒ. සුමන්තිරන් යන මන්ත්රීවරුන් රජයට පක්ෂපාතී වෙමින් ඊට විරෝධය පල නොකිරීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවද පැවසුවේය.

හිතෛෂිභාවය

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරිය ආනන්දි සශිහරන් කියා සිටියේ එම මන්ත්‍රීවරුන් රජයට පක්ෂපාතී වෙමින් සිදු කර ගෙන යන හිතෛෂිභාවය නිසා කිසිදු දිනක දෙමළ වැසියන්ට කිසිදු අයිතිවාසිකමක් ලබා ගැනීමට නොහැකි වන බවයි.

ඔවුන් එසේ රජයට පක්ෂපාතීවීම නිසා දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න යටපත් වන බවද ඊට එම මන්ත්‍රීවරුන් දක්වන සහයෝගය දෙමළ ජනතාව පාවා දීමක් ලෙසද මන්ත්‍රීවරිය විස්තර කළාය.

යාපනයේ දී අද පැවැත්වුණු උද්ඝෝෂණය සහ විරෝධතාව දෙමළ ජාතික සන්ධානයේම පිරිසක් එම පක්ෂයට එරෙහිව කරණ විරෝධතාවක් නොවේදැයි බී.බී.සී.ය කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මෙම උද්ඝෝෂණය හා විරෝධතාව තුළින් එවැන්නක් සිදු නොවන බවයි.

දෙමළ ජනතාව සහ දෙමළ ජනතාවගේ ප්‍රශ්න පාවා දෙමින් කටයුතු කරණ පිරිසකට එරෙහිව තමන්ට උද්ඝෝෂණයක් පවත්වා ඔවුන් යන මග වැරදි බව පෙන්වීමට අයිතියක් ඇතැයිද යාපනයේ විරෝධතාවට සහභාගී වූ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ කියා සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර