ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තොරතුරු දැනගැනීමේ කෙටුම්පතේ 'අඩුපාඩු රැසක්'

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට තිබෙන තොරතුරු දැනගැනීමේ පණත් කෙටුම්පතේ ගුණාත්මක භාවයේ අඩුපාඩු රැසක් තිබෙන බව ක්‍රියාධරයෝ පවසති.

මෙවැනි පණතක අවශ්‍යතාවය දශකයකට ආසන්න කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ සාකච්ඡාවට බඳුන් වූ කරුණක් බව පවසන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා එබැවින් එය ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම අගය කළ යුතු බව සඳහන් කළේය.

කෙසේ නමුත් කෙටුම්පතේ ගුණාත්මක භාවයේ පවතින දුර්වලතා හමුවේ මෙය කෙතරම් අවංක උත්සායක් දැයි සැකයක් පහළ වන බවද ඔහු බීබීසී සංදේශයට කියා සිටියේය.

පණත යොදාගනිමින් කිසියම් පුද්ගලයකු ලබාගන්නා තොරතුරු ප්‍රසිද්ධියේ භාවිත කිරීමට අවසර නොදීම හෝ සීමාකිරීම එහි තිබෙන ප්‍රධානම දුර්වලතාවයක් බව කුසල් පෙරේරා සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

'යෝජනා එවන්න'

"විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ට ලබාගන්නා තොරතුරු ඒ අයට තමන්ගේ මාධ්‍යයේ පාවිච්චි කිරීමට අවසර නැතිනම් මේ පණත එක්තරා ආකාරයකට තොරතුරු විවෘතව සමාජයේ සාකච්ඡා කිරීමට තහංචි පණවන පණතක්."

Image copyright Kusal Perera
Image caption "සීමාවක් තියෙනවා මේක සමාජ සංවාදයකට නතු කර ගැනීමේ"

තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ පණත් කෙටුම්පත් මීට ඉහතදීත් ශ්‍රී ලංකාවේ සකස් වී තිබෙන බව පවසන ඔහු, එවැනි උදාහරණ නොතිබුණද යුනෙස්කෝව සහ ලෝක බැංකුව වැනි ආයතන මගින් සකස් කරන ලද ඉතා වැදගත් ආකෘති පවතින බවත් පෙන්වා දෙයි.

ආණ්ඩුව සකස් කරන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කල් තබා සාකච්ඡා කිරීමේ අයිතිය අහෝසි කිරීමේ යෝජනාව දේශපාලන විශ්ලේෂකයකුද වන කුසල් පෙරේරා පෙන්වා දෙන තවත් දුර්වලතාවයක්.

පණත යටතේ තොරතුරු කොමිසම පත්කිරීමේ බලය ජනමාධ්‍ය අමාත්‍යංශයට පැවරීම ද කුසල් පෙරේරාගේ විවේචනයට ලක් වෙයි.

අදාළ පණත් කෙටුම්පත පිළිබඳව සිය අදහස් සහ යෝජනා දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන සඳුදා නිවේදනයක් නිකුත් කොට තිබුණි.

secmedia14@gmail.com ඊමේල් ලිපිනයට හෝ 011 2512343 ෆැක්ස් අංකයට එම අදහස් යොමු කරන මෙන් ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක් මගින් ඉල්ලීමක් කොට තිබේ.

කෙසේ නමුත් කෙටුම්පත ආණ්ඩුවේ වෙබ් අඩවියක ප්‍රකාශයට පත්කොට සංවාදයට බඳුන් කරන මෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බව පවසන මාධ්‍යවේදී කුසල් පෙරේරා, එබැවින් සංවාදය පිණිස විවර වී තිබෙන්නේ 'සීමා සහිත' අවකාශයක් බවද සංදේශයට කියා සිටියේය.