විමල් වීරවංශත් 'උපන් දිනය වෙනස් කරලා'

Image caption විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා 1965 වසරේ ඉපදී තිබුනද ඔහු එය 1970 වශයෙන් වෙනස් කරගෙන ඇති බව පොලිසිය පවසයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ සිය දරුවන්ගේ උප්පැන්න සහතික සඳහා ව්‍යාජ උපන් දින ලබා දී ඇතැයි අනාවරණය වී ඇති බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා 1965 වසරේ ඉපදී තිබුනද ඔහු එය 1970 වශයෙන් වෙනස් කරගෙන ඇති බවයි, රහස් පොලිසිය පවසන්නේ.

ශෂී වීරවංශ 1967 වසරේ ඉපිද ඇති නමුත් එයද 1971 දී උපත ලැබූ බවට වෙනස් කරගෙන ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම ශෂී වීරවංශ අදාළ උපන් දින දෙක යටතේම ජාතික හැඳුනුම්පත් ලබාගෙන ඇතිබවද පොලිසිය ප්‍රකාශ කළේය.

'ඇමතිවරයාගේ ඉල්ලීමට'

අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ලබාගත් බවට සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ ශෂී වීරවංශ මාළඹේ පුද්ගලික රෝහලක රඳවා සිටින බවත් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන් පොලිසිය එම රෝහල වෙත ගොස් සැකකාරිය රිමාන්ඩ් භාරයට් පත්කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

Image copyright sri lanka mirror
Image caption ශෂී වීරවංශ ලබන පස් වැනි දින දක්වා රෝහලේදීම රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග

සැකකාරියගේ රෝගී තත්වය පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉන්පසුව සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කිරීමේ නියෝගයක් නිකුත් කරන බව සඳහන් කළ බවයි, පැමිණිලිකාර පාර්ශවයේ නීතිවේදී උදාර මුහන්දිරම්ගේ මාධ්‍ය හමුවේ කියා සිටියේ.

ඒ අනුව සැකකාර ශෂී වීරවංශ ලබන පස් වැනි දින දක්වා රෝහලේදීම රිමාන්ඩ් භාරයේ තැබීමට කඩුවෙල මහේස්ත්‍රාත් වරයා නියෝග කොට තිබේ.

මේ අතර රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබෙන හිටපු ආගමන සහ විගමන පාලක චූලානන්ද පෙරේරා, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ ඉල්ලීමකට අනුව ඔහුගේ බිරිඳට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කළ බව පවසා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර