ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'දූෂිත මැතිවරණ ක්‍රමය දෙසතියකින් වෙනස් කළ හැකියි'

පාලකයන්ට සැබෑ උවමනාවක් ඇත්නම් සති දෙකක් ඇතුළත වුවද මැතිවරණ ක්‍රමය වෙනස් කළ හැකි බව ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන් පවසයි.

පවතින මැතිවරණ ක්‍රමය තව දුරටත් පවත්වා ගෙන යාමට බොහෝ දේශපාලකයන් පෞද්ගලිකව කැමැත්තක් දක්වන බැවින් මීළඟ මැතිවරණයට පෙර එය සංශෝධනය කළ නොහැකි බවට මතයක් ගොඩ නගන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

‘සීමා නිර්ණය කිරීමට කාලයක් ගත වෙනවා කියනවා. ඒක බොරුවක්. 1988 දී මේකට ගියේ මාස දෙකයි. අද සර්වේයර් ජනරාල්වරයා සතුව නවීන සිතියම් තියෙනවා. ඩිජිටල් සිතියම් තියෙනවා. අවශ්‍යතාව තියෙනවනම් මේක වෙනස් කරන්න සති දෙකක් වත් යන්නේ නැහැ.’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවක දී වික්ටර් අයිවන් පැවසීය.

'තක්කඩි කම් කරන්න පුළුවන්'

‘දැන් ඉන්න බොහෝ නායකයන් මේ ක්‍රමයට කැමතියි. මේ මැතිවරණ ක්‍රමය දූෂිතයි. විශාල වශයෙන් මුදල් වැය වෙනවා. සීමාවකින් තොරව කළු සල්ලි පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රමය තුළ ඕන තරම් තක්කඩි කම් කරන්න පුළුවන්. ඒ වගේම එකම පවුලේ තාත්තටයි පුතාටයි අම්මටයි තුන් දෙනාටම පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම කළ යුතුමයි.’ ඔහු ප්‍රකාශ කළේය.

සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.

සිදු කෙරෙන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් රජය ක්‍රියාත්මක නොකිරීම නිසා හිටපු ජනාධිපතිවරයාගේ පැවැත්ම ශක්තිමත් කිරීමට පසුබිම සකස් වී ඇති බවයි වික්ටර් අයිවන් පවසන්නේ.

'රෙද්දකින් වහගෙන'

‘පීඩාකාරී, දූෂිත දීර්ඝ කාලීන පාලනයක් පෙරලා දැමීමෙන් පසු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඕනෑම රටක දියත් වෙනවා. අවාසනාවකට ලංකාවේ එහෙම දෙයක් නැහැ. ඔවුන් හිතන්නේ දෙන සහන සහ ඔවුන් දුන් පොරොන්දු ඉටු කිරීම ගැන විතරයි. මේ තත්වය මහින්ද රාජපක්ෂගේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතු වී තිබෙනවා. මිනිස්සුන්ට දොස් කියල වැඩක් නැහැ. දූෂණ පමණක් නොවෙයි ජනතාවගේ නිදහස සීමා කරලා තිබුණ ප්‍රමාණය, බිහිසුණු විනාශ කාරී ක්‍රියා ගැනත් ජනතාව දැනුවත් කිරීම සඳහා මේ ආණ්ඩුව වැදගත් යමක් කරලා නැහැ.’

‘අනික් පැත්තෙන් සිදු කරන ප්‍රතිසංස්කරණයන් තිර රෙද්දකින් වහගෙනයි මේ ආණ්ඩුව කරන්නේ. හැම දෙයක්ම මහ ජනයාට පෙනෙන ලෙස සිදු කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක්. කිහිප දෙනෙක් කාමරයක හැංගිලා කතා කිරීම සුදුසු නැහැ.’ ඔහු තවදුරටත් පැවසීය.

පසුගිය පාලනයේ මුහුණු නව පාලනයට එක් වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ‘පරාජිතයන් එක් වන්නේ කුමන අරමුණකින්ද කියා තවම පැහැදිලි නැති’ බවයි.

‘හුස්ම ගැනීමේ නිදහසක්’

කෙසේ නමුත් නව රජය පත්වීම තුළ අන්තර්ජාතික තහංචි වලින් ගැලවීමට හැකි වූ බවත් මානව හිමිකම් සම්බන්ධයෙන් ජනතාවට ‘හුස්ම ගැනීමේ නිදහසක්’ ලැබුණු බවත් වික්ටර් අයිවන් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් වඩා සාධාරණව සිතන සහ ජාතිවාදී නොවන හෙයින් දේශපාලනය සම්බන්ධයෙන් ඔවුන්ගේ දායකත්වය ඉතා ඉහලින් පැවතීම යහපත් දෙයක් බවද ඔහු පවසයි.