ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද අපරාධ:දේශීය පරීක්ෂණය ගැන 'තවම තීරණයක් නෑ'

යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් අලුත් දේශීය පරීක්ෂණයක් පවත්වන්නේ දැයි තවම අවසාන තීරණයකට එළඹ නැති බව අධිකරණ සහ කම්කරු සම්බන්ධතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නඟමින්, රාජනීතිඥ ඩෙස්මන්ඩ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර උපදේශක කමිටුවේ වාර්තාවද සලකා බලා ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් ක්‍රියාකිරීමට සිය රජයේ ප්‍රමුඛත්වය හිමිවන බවයි, අමාත්‍යවරයා ලන්ඩනයේදී බීබීසී සංදේශයට කියා සිටියේ.

"අභ්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නම් සිදුකරන්න සූදානමින් ඉන්නවා. ඒ අභ්‍යන්තර පරීක්ෂණයකට මුලපිරීමක් විදියට තමයි පසුගිය රජය උගත් පාඩම් කොමිසම පත්කරලා වාර්තාවක් ලබාගත්තේ," අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ බීබීසීයේ සරෝජ් පතිරණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනපති ලන්ඩනයට

Image caption "අභ්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නම් සිදුකරන්න සූදානමින් ඉන්නවා. ඒ අභ්‍යන්තර පරීක්ෂණයකට මුලපිරීමක් විදියට තමයි උගත් පාඩම් කොමිසම පත්කරලා වාර්තාවක් ලබාගත්තේ"

එවැනි පරීක්ෂණයක් පත් කරනු ලැබුවත් එහි ප්‍රධානම අරමුණ දඬුවම් කිරීම නොව සත්‍යය සොයාගැනීම සහ විශේෂයෙන්ම සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම බවයි අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

චෝදනා රහිතව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින එල්ටීටීඊ සැකකරුවන් 182 දෙදෙනකු පිළිබඳව කරුණු අනාවරණය වී තිබෙන බවද අධිකරණ අමාත්‍යවරයා සංදේශයට කියා සිටියේය.

ජෙයකුමාරි බාලේන්ද්‍රන් ඇතුළු එල්ටීටීඊ සැකකරුවන්ට නඩු පැවරීමට හෝ ඉක්මනින් නිදහස් කිරීමට අදාළ ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කොට තිබෙන බවත් සඳහන් කළේය.

ලබන මාර්තු 07 වැනි දින බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මාර්තු මස 11 වැනි දින බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින සමඟ දිවා භෝජනයකට සහභාගි වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ සමඟ පැවැත්වූ සංවාදයේ දෙවැනි කොටස බ්‍රහස්පතින්දා සංදේශය ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිතයි.