ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ළමුන්ගේ මුදලින් ෆිනෑන්ස් ගෙවන විදුහල්පතිවරු

කොළඹ අගනුවර එක් පාසලක බලධාරීන් එක වසරක් ඇතුළත ළමුන්ගෙන් රුපියල් ලක්ෂ එක්දාස් හාරසීයක් (කෝටි දාහතරක්) එක්රැස් කර ගනු ලැබ ඇතැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

එවැනි තත්වයක් යටතේ පාසල් ළමුන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කරමින් දැඩි චක්‍ර ලේඛනයක් නිකුත් කිරීමට පියවර ගත් බවයි අධ්‍යාපන ඇමතිවරයා පවසන්නේ.

ඇමතිවරයා එම අදහස් පළ කළේ බීබීසී කොළඹ වාර්තාකරු අශාම් අමීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

‘සමහර විදුහල්පතිවරුන් තම වාහනයේ ෆිනෑන්ස් ගෙවන්නේත් ළමුන්ගෙන් මුදල් එකතු කර ගෙනයි’ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා සඳහන් කළේය.

පසුගිය රජය යටතේ අවිධිමත් මාර්ග වලින් පාසල් වලට දරුවන් ඇතුලත් කිරීමත් මහා පරිමාණයෙන් සිදු කොට ඇතැයි පවසන අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, දේශපාලන ‘කෝටා’ අනුව සිදු කෙරෙන එවැනි ඇතුලත් කිරීම් නතර කරන බවත් කියා සිටියි.

කාල්ටන් දොරටුව

‘පසුගිය රජය කාලයේ කොළඹ ප්‍රධාන පාසල් වලට ජනාධිපති පවුලට සම්බන්ධ ‘කාල්ටන්’ පෙර පාසලෙන් විශාල ප්‍රමාණයෙන් ළමුන් ඇතුලත් කර ගත්තා. ජනාධිපති මන්දිරයෙන් ලැයිස්තු තුනක් පාසල් වලට ඇවිත් තිබුණා. ඊට අමතරව මහ ඇමතිවරුන්ගෙනුත් ලැයිස්තු ඇවිත් තිබුණා’ අධ්‍යාපන ඇමතිවරයා පවසයි.

අලුතින් ආරම්භ කරනු ලැබ ඇති ආරක්ෂක පාසල් වලට ගුරු සංගම් වලින් විරෝධය එල්ල වී තිබෙන හෙයින් ඒවා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ගය කුමක්දැයි බීබීසී වාර්තාකරු ප්‍රශ්න කළ විට ඇමතිවරයා කියා සිටියේ, එම පාසල් හදිසියේ අමාත්‍යාංශය යටතට පවරා ගනු ලැබීම ළමුන්ට අසාධාරණයක් විය හැකි හෙයින් දැන්ම එවැනි පියවරක්‌ නොගන්නා බවයි.

විභාග ප්‍රශ්න පත්‍ර

විභාග ප්‍රශ්න පත්‍ර සම්පාදනය සම්බන්ධයෙන් අදහස් පළ කළ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ, උසස් මට්ටමේ තරඟකාරී විභාග සඳහා ඉතා ඉහල මට්ටමේ පුද්ගලයන් නිරත කරවන බවයි.

‘ප්‍රශ්න පත්‍ර පිළියෙළ කළ යුත්තේ ඒ විෂය පිළිබඳව ආචාරය උපාධියක් සහිත සුදුසු පුද්ගලයකු විසිනුයි. ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය,ඔහුගේ ප්‍රවීණ භාවය මෙන්ම ඔහු විනය විරෝධී ක්‍රියාවන් සිදු නොකළ අයකු විය යුතුයි’ ඇමතිවරයා නිර්දේශ කරයි.

එසේම එම කාර්යය සඳහා ටියුෂන් ගුරුවරුන් නොයොදවන බවත් ඇමතිවරයා කියා සිටියේය.