ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අනුරගෙන් අධිකරණ ඇමතිට 'අභියෝගයක්'

සුපුරුදු පරිදි අවලාද නැගීම ආරම්භ කර ඇති බවට කළ ප්‍රකාශය මගින් අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ දේශපාලනයේ තරම පැහැදිලි වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

‘මම විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට අභියෝග කරනවා මීට පෙර මම කරන ලද ප්‍රකාශවල අවලාදය මොකක්ද?’ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රශ්න කරයි.

අවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේ ගමන් බලපත්‍රය නිදහස් කර ගැනීම පිණිස මැදිහත් වූ බවට මන්ත්‍රීවරයා මීට ඉහතදී අධිකරණ අමාත්‍යවරයාට චෝදනා කර තිබුණි.

එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා, ඒ පිළිබඳ අනුර කුමාර මන්ත්‍රීවරයා සමාව ඉල්ලා සිටිය යුතු බව ෆේස්බුක් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද පණිවුඩයකින් පවසා තිබුණි.

දිසානායක මන්ත්‍රීවරයා සංදේශය සමඟ ප්‍රතිචාරය පළ කළේ එම ප්‍රකාශයටයි.

තමා විසින් සිදු කරන ලද ප්‍රකාශයන්හි වගකීම භාර ගන්නා බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ එම ප්‍රකාශ නිවැරදි තොරතුරු හා කරුණු මත පදනම් වී සිදු කර ඇති බව තමාට තහවුරු කළ හැකි බවයි.

‘මට කනගාටු විජේදාස රාජපක්ෂ ගැන. ඒ විවේචනවලින්, ඒ තොරතුරුවලින් සමාජය තුළ විවේචනයක් ගොඩනැගිලා, ඒ විවේචනයේ බලෙන් ඇමති ධුරයේ පුටුවේ වැඩි වෙලා, ඒ විවේචන එල්ල කරපු අයට අවලාද යැයි කියනවා නම් ඒකෙන් පෙන්නුම් කරන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයාගේ දේශපාලනයේ තරම’ යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින්.

තමා විසින් මීට පෙර පැවති රජය පිළිබඳ කරනු ලැබූ ප්‍රකාශයන්ද අවලාද යැයි හැඟවීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ උත්සාහයක නිරත වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ.

‘ඔහු මේ ආරක්ෂා කරන්න හදන්නේ කවුද?, ඔහු ආරක්ෂා වෙන ගමන් පැවති පාලනයට එරෙහිව ඉදිරිපත් කරන ලද විවේචනයන්ද ආරක්ෂා කිරීම තමයි ඔහුගේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ’ ඔහු වැඩිදුරටත් කියා සිටියේය.